පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීනි,පරිප්පු,කුකුළු මස් සහ අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි අදාළ භාණ්ඩ සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මීට පෙර ප්‍රකාශයට පත්කරන ලද ගැසට් නිවේදන 07ක් මෙම නව ගැසට් පත්‍රය මගින් අවලංගු කර ඇති බව වාර්තා වන අතර පසුගිය සැප්තැම්බර් මස 02 වනදා සුදු සහ දුඹුරු සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් නිවේදනය ද මේ අනුව අවලංගු කර ඇත.
එසේම 2020 වර්ෂයේ මාර්තු මස 17 වන දින මයිපූර් පරිප්පු ,බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබූ උපරම සිල්ලර මිලට අදාළ ගැසට් නිවේදනය ද මෙමගින් අවලංගු කර ඇත.
ඊට අමතරව 2020 වර්ෂයේ මාර්තු මස 12 වන දින නිකුත් කළ බඩ ඉරිඟු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් වන අතර එදිනම කුකුළු මස් සඳහා ද උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ද මෙමගින් අවලංගු කර ඇත.
2017 වසරේ දෙසැම්බර් 06 වන දින කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම මිලක් පනවමින් ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයත් එම වර්ෂයේ ම ජනවාරි මස 27 වන දින වියළි හාල් මැස්සන්, මුංඇට, ආනයනික අර්තාපල් යන භාණ්ඩ සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රය ද මෙමගින් අවලංගු කර ඇති බවට අදාළ විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ඊට අමතරව 2016 වර්ෂයේ ජූලි මස 14 වන දින කඩල, තිරිඟු පිටි, ආනයනික කිරිපිටි යන භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරමින් ප්‍රකාශයට පත්කරන ලද ගැසට් නිවේදනය ද අවලංගු කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම මීට පෙර සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබූ ගැසට් පත්‍රය ද අවලංගු කිරීමට මෙමගින් පියවර ගෙන ඇත.
අදාළ ගැසට් නිවේදනය පහතින්,
