අහඹු ඇමරිකානු කාන්තාවක් නිසා එංගලන්ත රජ පවුලේ කුමරියකට රැජනක් ලෙසින් මිය යන්නට වරම් හිමි විය.

1936 ජනවාරි 20 වැනි දා එවකට එංගලන්තයේ රජු ලෙස කිරුළ දැරූ 5 වැනි ජෝර්ජ් රජ ජීවිතක්ෂයට පත් විය. එවකට එංගලන්ත යටත් විජිතයක් වූ සිලෝන් දේශයේ පාසැල් පද්ධතිය තුළ ‍රජු අරභයා නිතරම කියැවුණු ප්‍රශස්ති කවියක මෙසේ සඳහන් විය.

‘අපගේ මහ රජා
ලන්ඩන් නුවර වැජඹෙනා
නිතර සිහිවෙනා
ලෙස පින්තූරෙ බලමිනා

ජෝර්ජ් අපගේ මහ රජා
මේරි බිසව් ගුණකඳා
ලංකාවත් රැක දිදී
වැජඹේ සිරි රැස් වැදී’

අපගේ මහ රජා වූ 5 වැනි ජෝර්ජ් මෙලොවින් සමුගන්නේ ඔහුගේ වැඩිමහළු පුත් 8 වැනි එඩ්වඩ් රජු හට කිරීටය හිමි කර දෙමිනි. එඩ්වඩ් කුමරු ඒ වන විටත් දෙවතාවක් විවාහ වී නීතියෙන් වෙන් ව සිටි වෝලීස් වෝෆීල්ඩ් – සිම්ප්සන් නම් ඇමරිකානු කාන්තාවක සමග ප්‍රේමයෙන් වෙළී හුන්නේය. හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළු පලන් රජු මෙයට පෙර විවාහ වී සිටි අන්‍ය ජාතික කාන්තාවක් සමග ආවාහ වීම රාජකීය සම්ප්‍රදායයට පටහැනි බවට විසංවාද පැන නැගුණු අතර එඩ්වඩ් – වෝලීස් ප්‍රේමයට රාජකීය සම්ප්‍රදායයේ අනුමැතිය නොලැබෙන ඉඟි පහළ විය. ඉනික්බිති පදවිප්‍රාප්තියෙන් මාස 11 දවස් 21 ක් ගත වන තැන; එනම් 1936 දෙසැම්බර් 11 වැනි දා රජ කිරුළ අත් හරින 8 වැනි එඩ්වඩ් සිය පෙම්වතිය වූ වෝලීස් වෝෆීල්ඩ් – සිම්ප්සන් විවාහ කර ගත්තේ ය.

එඩ්වඩ් කුමරු ස්වකීය ප්‍රේමය වෙනුවෙන් රජ කිරුළ අත හැරීමේ සිදුවීම එවකට එංගලන්ත යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාව ද කම්පනයට ලක් කළ පුවතකි. සිබිල් වෙත්තසිංහයන් තම ‘වැනියන් කළු වැනීයන්’ පොතෙහි සඳහන් කරන ආකාරයට ඇගේ ළමා කාලයේ ප්‍රධාන සන්නිවේදන මාර්ගයක් වූ කවි කොළ කරුවන් එම පුවත ශෝක භරිතව කඳුළු සලමින් කවියෙන් මෙසේ විස්තර කර තිබිණ.

‘සිම්සන් නෝනා ආදරී
හිතට බොහොම වී පිරී
දෙයියනෙ හිතට බොහො දුකයි
ආලේ ලීලේ ඒ තමයි’

තිහේ දසකයේ දී කවි කොළ කරුවන් ලේන්සුවෙන් නාසය සූරමින් කම්පා වූ මේ පුවත ම අසූව දසකයේ දී ටයිටස් තොටවත්තයන් විසින් රූපවාහිනී තිරයට ගෙන එන ලදි. සිංහලෙන් හඬ කැවූ ‘දොස්තර හොඳ හිත’ කාටූන් වැඩසටහනෙහි එන ‘ලා තණකොළ පෙත්තාස්’ නම් සංගීත කණ්ඩායම ගයන ‘ලව් ලව් ලව් ලව්’ නම් වූ ගීතය රචනා කළ ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ කුසලතාපූර්ණ ගීත රචකයා විකාරරූපී අදහසක් ප්‍රකාශ කළේය.

‘ආලය කියනා මාලය වැටුණොත්
රජුන් ද පිස්සන් වෙයි
අටවැනි එඩ්වඩ් රජකම ඇරියේ
ආලය හින්දාමයි’

එඩ්වඩ් කුමරු රජ කිරුළ අත් හළ පසු අනුප්‍රාප්තිකයා ලෙස රජකමට පත් වන්නේ ඔහුගේ බාල සොහොයුරු වූ 6 වැනි ජෝර්ජ් රජුය. 1936 දෙසැම්බර් 11 වැනි දා සිට එංගලන්තයේ රජු ලෙස කිරුළ දරන 6 වැනි ජෝර්ජ් රජු 1952 පෙබරවාරි 06 වැනි දා කළුරිය කරන්නේ තම වැඩිමහළු දියණිය වන විසි හය හැවිරිදි එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි කුමරිය දෙවැනි එලිසබෙත් රැජන ලෙස අභිෂේක කරවමිනි.

2022 සැප්තැම්බර් 08 වැනි දා එංගලන්තයේ මහ රැජන ලෙස මෙලොවින් සමුගන්නේ යන්නේ වසර අසූ හයකට පෙර රජකම අත් හළ 8 වැනි එඩ්වඩ් රජුගෙන් පසුව එංගලන්ත රජ කිරුළ හිමි වූ පුද්ගලයාගේ වැඩිමහල් දියණිය ය.

වෝලීස් වෝෆීල්ඩ් – සිම්ප්සන් නම් ඇමරිකානු කාන්තාව නොවන්නට අද දිනයේ දී එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි කුමරිය ජීවිතයෙන් සමු ගන්නේ දෙවැනි එලිසබෙත් රැජන ලෙස නොව රාජකීය පවුලේ ආසන්න කවයට අයත් තවත් එක් සාමාජිකාවක් ලෙසිනි.

උපුටා ගැනීම – සහන් කසීර වික්‍රමසිංහ

Exit mobile version