ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකගේ මීළඟ අපේක්ෂාව එළඹෙන ලෝක කුසලාන තරඟාවලිය ජය ගැනීම බව ඔහු ඊයේ මාධ්‍ය හමුවේ දී සඳහන් කරන ලදී.
ඊයේ (11) ශ්‍රී ලංකා වාසී සියලුදෙනාට ඉතාමත් වැදගත් සහ ෙඵතිහාසික දිනක් වූයේ වසර 08ට පසුව හයවන වරට ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකි වීමයි.
ඒ ඩුබායි ක්‍රීඩාංගනයේ පාකිස්තානය සමග පැවති අවසන් මහා තරගයෙන් පාකිස්ථානය ලකුණු 23කින් පරාජය කරමින්ය.
ක්‍රිකට් විචාරකයින් මත පළ කර තිබුණේ තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීම තරඟ ජයග්‍රහණය කිරීමට තීරණාත්මක සාධකයක් වන බවටය.
කෙසේ නමුත් තරඟයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දු රැකිමට පාකිස්තාන කණ්ඩායම තීරණය කරන ලදී.
ශ්‍රී ලංකකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරණය අඩු ලකුණු ප්‍රමාණයකින් දවා ගැනීමට පාකිස්තාන වේගපන්දු යවන්නන් සමත් වූ නමුත් නියමිත පන්දු වාර අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 170ක් රැස්කර ගැනීමට සමත් විය.
විශිෂ්ට පිති හරඹයක නිරත වෙමින් භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුට සහයෝගය ලබා දෙමින් වනිඳු හසරංග වේගවත් ලකුණු 36ක් රැස්කරන ලදී.
කෙසේ නමුත් තරඟය අතර වාරයේ දී පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරන බවට ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා පවා පෙන්වා දී තිබූ අවස්ථාවක ඔවුන්ගේ ලකුණු පන්දු වාර 20 අවසානයේ සියලු ක්‍රීඩකයින් දවා ගනිමින් ලකුණු 147කට පමණක් සීමා කරමින් තරඟයේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
එහි දී නවක වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ලකුඛු 34 කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් වූ අතර චාමික කරුණාරත්න කඩුලු 02ක් දවා ගන්නා ලදී.
ශ්‍රී ලංකා පිළේ ප්‍රබල අපේක්ෂාව වන වනිදු හසරංග සිව්වන පන්දු වාරයේ දී කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.