සායන සදහා පැමිණෙන ගැබිනි මව්වරුන්ට අපහාසාත්මක අන්දමින් බැණ වදින බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව අතර දැඩි අප්‍රසාදයක් පලවී තිබේ.
ආර්.ඩී. සුගතදාස නැමති මෙම වෛද්‍යවරයා ගැබිනි මව්වරුන්ගේ සායන වලදි ඉතාමත් පහත් අන්දමින් කතා කරන බවත් ජාතිවාදී ප්රතිපත්තියක සිටිමින් දමිළ හා මුස්ලිම් මව්වරුන්ට නිගා කරන බවත් එම මව්වරුන් චෝදනා කරති.
මේ වෛද්‍යවරයා ගැබිනි මව්වරුන්ට පමණක් නොව පෝලියෝ, පිටගැස්ම වැනි එන්නත් විද ගැනීමට දරුවන් රැගෙන එන මව්වරුන්ටද ඒ ආකාරයෙන්ම බැණ වදින බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයටද මව්වරුන් රැසකගෙන්ම පැමිණිලි ලැබී තිබෙන බවත් ඒ වෛද්‍යවරයාට අවස්ථා කිහිපයකදීම එසේ නොකරන්නැයි උපදෙස් දී තිබෙන බවත් එම සංගමයේ ප්‍රකාශකයෙකු පැවසීය.
මාතෘ සායනයට අද (20) උදැසන ගිය සිව්මස් ගැබිනි මවකගේ වාර්තාවක් වෛද්‍යවරයාට එකවර ඉදිරිපත් නොකිරීම නිසා ඔහු අනෙක් මව්වරුන් ඉදිරියේදිම එම කාන්තාවට අපහාසාත්මක අන්දමින් බැණ වැදී පිටගැස්ම එන්නත ද ලබා නොදී පලවා හැර තිබිණි.
මම සිංහල අම්මලා විස්සක් විතර දැන් බැලුවා. තමුසෙලා මුස්ලිම් නේ. තමුසෙලාට කියන දේවල් තේරෙන්නෙත් නැහැනේ. මම තමුසෙට කිසිම සායනයක් කරන්නේ නැහැ. තමුසෙලාගේ ජාතියේ මිනිස්සු ඔහොම්මයි. කියා මෙම කාන්තාවගේ ගැබිනි මවට සායන පොතද අත්සන් නොකර පලවා හැර තිබේ.
වෛද්‍යවරයා ඒ ආකාරයෙන්ම වෙනත් දිනවලදි ද හැසිර තිබෙන බවත් එක් අවස්ථාවක එවැනි අසාධාරන ක්‍රියාවකට දොස් කී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුටද ද බැණ වැදී ඔහු හා ගැටුමක් ඇතිකරගෙන ඇති බවත් පැවසේ. එවැනි ප්‍රශ්න ඉහළ නිලධාරීන්ට යන සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන නිලධාරිනියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් ආයාචනය කර එවැන්නක් සිදුනොවූ බව පවසන ලෙස ඉල්ලා සිටින බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුගතදාස ගෙන් කළ විමසීමකදී චෝදනා ප්‍රතික්ෂේප කලේය.
කෙසේ වෙතත් ජාතිකත්වය මත සායන කරන ආයතනයක් ලෙස බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පත්ව ඇති නම් ගැබිනි මව්වරුන්ට අශීලාචාර අන්දමින් කතා කරනවා නම් ඒ ගැන සොයා බලා කඩිනම් පියවර ගැනීම බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සතු වගකීමකි.
