කටුනායක ගුවන්තොටුපලේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් වසා දමා තිබූ කටුනායක ගුවන්තොටුපළේ පී.සී.ආර්.පරීක්ෂණාගාරයේ වැඩ අද (27) සිට නැවත ආරම්භ කර ඇත.
මෙම පරීක්ෂණාගාරයේ දී ලංකාවෙන් පිටව යන සියලුම මගීන්ගේ සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා අවශ්‍ය පී.සී.ආර්.පරීක්ෂණ සිදු කෙරේ.
ඒ අනුව රසායනාගාරයේ කාර්යභාර කළමනාකරු සුමුදු සරසිරාජා සඳහන් කරන්නේ කටුනායක ගුවන් තොටුපළට අනුබද්ධිත ඒ.ඒ.එස්.එල්. හොස්පිනෝම් පී.සී.ආර්. පරීක්ෂණාගාරය සඳහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී ඇති අතර පැය තුනක් ඇතුළත පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාව ලබා දීමට ද කටයුතු කරන බවයි.
“අප රසායනාගාරය කටුනායක ගුවන්තොටුපළ හා අනුබද්ධිතව පවත්වාගෙන යන පී.සී.ආර්.රසායනාගාරයක්. පැය තුනක් වැනි කාලයක් ඇතුලත කොවිඩ්-19 පරීක්ෂණ සඳහා වූ ප්‍රතිඵල අපි ලබාදෙනවා.පී.සී.ආර්.පරීක්ෂාව පොසිටිව් වන අය ගුවන්තොටුපළ අධීක්ෂණය යටතේ නිරෝධායන මධ්‍යස්ථාවලට යොමු කරනවා.නෙගටිව් වන අය තමන්ගේ ගමනාන්තය දක්වා ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.
මෙහිදී ලංකාවෙන් පිටත්ව යන ගුවන් මගීන්ට විදේශගතවීම සඳහා අවශ්‍ය පී.සී.ආර්.පරීක්ෂණයත් ගුවන්තොටුපළේදී ම සිදුකරගැනීමට අවස්ථාව ලැබෙනවා.ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් පැමිණෙන අයෙක්ට පැය තුනක කාලය ගෙවා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් අපි ලබාදී තිබෙනවා.” සුමුදු සරසිරාජා මහතා සඳහන් කර ඇත.
ඒ අනුව මෙහීදී සිය ගුවන් යානය පිටත්ව යන වේලාවට පැය 06කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට සිය පී.සී.ආර්.පරීක්ෂණ සිදුකරගෙන විදේශගතවීමේ හැකියාව ඇති අතර එම පරීක්ෂණ වාර්තා පැමිණෙන තෙක් කාලය ගතකිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ද එහිදී සපයා ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මෙම රසායනාගාරය වෙත පළමුව පැමිණ ඇත්තේ අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි කටාර් ගුවන් සේවයේ ක්‍යු.ආර්.668 දරණ ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිසක් ය.

-සංජය නල්ලපෙරුම-