අද (22) දිනයේ අපවත් වී වදාල අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ දේහය අදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතව ඇත.
ජය ශ්‍රී මහා බෝධිය අසල පිහිටි සන්නිපාත ශාලාවේ උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර පස්වරු 02.30 ට අනුරාධපුරයේ දී අදාහන පූජෝත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බව රුවන්වැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි ප්‍රකාශ කර ඇත.
මහාවිහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික අනුරාධපුර බෝ මළුව මහා විහාරය ඇතුළු අටමස්ථානාධිපති, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, ආචාර්ය අතිගෞරවාර්හ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක මාහිමිපාණන්වහන්සේට කීර්තිශේෂභාවෝපගත වූ බව මෙයින් දැනුම් දෙමු.
1990 දී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් තායිලන්තයේ තෙන්නායිහි විහාරයකට වැඩම කරවීමට කටයුතු සංවිධාන කෙරුණේය. ඒ ගමනට අටමස්ථානාධිපති නාහිමි තෝරා ගත්තේ සිරිනිවාස හිමිය.
1993 පොසොන් පුන් පොහොය වන විට මිරිසවැටිය චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ව කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය සූදානම් වෙමින් තිබුණේය. එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා අතින් කොත් වහන්සේ නිරාවරණය කිරීමට නියමිත විය. එහෙත් කිසිවකුත් නොසිතූ නොපැතූ ලෙස මැයි මස 01 වැනි දා ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකින් ප්‍රේමදාස ජනාධිපතිවරයා දිවංගත විය. මිරිසවැටිය චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ භාග්‍ය හිමි වූයේ ඉන්පසු ජනාධිපති පදවියට පත් වූ ඩී. බී. විජේතුංග මහතාටය. 1993 ජූනි මස 04 වැනි දින උදෑසන 8.12ට කොත නිරාවරණය කෙරිණි.
සිරිනිවාස හිමි වැඩ වසන පන්සලේ තත්ත්වය දුටු විජේතුංග ජනාධිපතිවරයාගේ සිත මහත් සේ කම්පාවට පත් විය. ඒ මහතා මේ යතිවරයාණන්ට සංඝාවාසයක් තනාදීමට තම කැමැත්තෙන්ම ඉදිරිපත් වී වැඩ ආරම්භ කළේය. මේ අතරවාරයේ දී 1994 වසරේ අභයගිරිය චෛත්‍යාරාමයේ වැඩ විසූ පෙරිමියන්කුලමේ උපතිස්ස ලොකු හාමුදුරුවෝ අපවත් වී වදාළහ. පසුව අටමස්ථානාධිපති ඤාණරතන නාහිමිගේ බලවත් ඉල්ලීමකට අනුව සිරිනිවාස හිමිට අභයගිරිය චෛත්‍යාරාමයට වැඩම කිරීමට සිදු වූහ. මෙහි දී සිරිනිවාස හිමි අභයගිරිය පන්සලේ පැවති ජල ප්‍රශ්නය පළමුවෙන්ම විසඳූහ. සිරිනිවාස හිමිට අභයගිරියේ වැඩ විසීමට සිදු වූයේ වසරක් පමණි. 1995 වසරේ දී රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරීව වැඩ විසූ ඇතිනිමලේ ගුණරතන ලොකු හාමුදුරුවෝ අපවත් වී වදාළහ. මින්පසු අටමස්ථානාධිපති නාහිමි විසින් සිරිනිවාස හිමි රුවන්වැලි මහා චෛත්‍යරාමාධිකාරි ධුරයට පත් කරන ලදී.
1995 වසරේ දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් සිරිනිවාස හිමි උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් කෙරුණේ මහත් ගෞරව බහුමානයෙනි. ඒ ගෞරවනීය පදවිය ලැබීමත් සමඟම පල්ලේගම සිරිනිවාස හිමියෝ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමි නම් වූහ. සිරිනිවාස නාහිමියන් රුවන්වැලි මහා සෑයට පැමිණීමෙන් පසු රෝගාතුර වූ පල්ලේගම ඤාණරතන අටමස්ථානාධිපති නාහිමියෝ අපවත් වී වදාළහ. ඤාණරතන හිමිගේ අපවත්වීමෙන් පසු අටමස්ථානාධිපති ධුරයට ඊළඟ සුදුස්සා වූයේ සිරිනිවාස නාහිමිය. අටමස්ථාන කාරක සභාවේ අවසන් තීරණයෙන් පසු අටමස්ථානාධිපති ධූරය , ඉතිහාසයේ එම උත්තරීතර පදවියට පත් වු ළාබාලම භික්ෂූන් වහන්සේ බවට සිරිනිවාස නාහිමි පත් වී සිටියහ. ඒ වන විට උන් වහන්සේ 44 වැනි වියෙහි පසු වූහ. පෙර රජ දවසින් පසු වර්තමානයේ ජය ශ්‍රී මහා බෝධිස්ථානයේ දක්නට ලැබෙන සියලු ඉදිකිරීම් සහ නිර්මාණ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිගේ සංකල්පයට අනුව සිදු වූ ඒවා බව සඳහන් කළ යුතුව ඇත.
1997 ජූලි මස 05 වෙනි දින පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස අභිනව අටමස්ථානාධිපති නාහිමියන් නිල වශයෙන් බෝමළුව පන්සලට වැඩම කරවන ලදී. අටමස්ථානාධිපති පදවිය පිළිබඳ අක්ත පත්‍රය සහ විජිනිපත සිරිනිවාස නාහිමියන්ට ගෞරව බහුමානයෙන් යුක්තව පිළිගන්වන ලද්දේ එවක ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විසිනි.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ සඳහා දෙවැනි රන් වැට තැනීමට මූලික අඩිතාලම වැටුණේ 1999 නිකිණි මස 20 වැනි දිනය. විවිධ පරිත්‍යාග තුළින් රන්වැට අරමුදල ක්‍රමයෙන් වර්ධනය වුවත් එය සිදුවූයේ මන්දගාමීවය. ක්‍රමයෙන් 2001 වසරේ මහමැතිවරණය ළඟාවිය. රනිල් වික්‍රමසිංහ මහතා රටේ අග්‍රාමාත්‍යධූරයට පත්විය. නව අගමැතිවරයා 2002 ජනවාරි මස 26 වැනි දින උඩමළුව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ රන්වැට පිළිබඳ කථාව අගමැතිවරයාට සිහිපත් කළෝ ය. ඉන්පසු සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රන්වැට පිළිබඳ උපදේශක සභාවක් පත්කරන ලදී. අරමුදල් හා ඉදිකිරීමේ කමිටුවක්ද පත් කෙරුණේ ය.
අවසානයේ සිරිනිවාස නාහිමියන්ගේ උත්සාහය මල්පල ගන්වමින් රන්වැට නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුනේ ය. නව රන්වැට සඳහා මුල්ගල තැබීම සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2002 වෙසක් මස 23 වැනි දින සිදු කෙරුණේ ය. 2003 වෙසක් මස 14 වැනි දින රන්වැට විවෘත කෙරුණි.
සිරිනිවාස නාහිමියන්ගේ ආරාධනයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ පනහක පමණ වියදමින් බෝ මළුවට පහතින් පිහිටි දේවාල මළුවේ ආරක්ෂක ගේට්ටු පහක් සවිකරන ලදී. ඒ සමඟ දේවාල මළුවේ කළුගල් ඇතිරීමට ලැබීමද රන්වැට ඉදිකර ඉතිරි මුදල් සියල්ල පාලනය සඳහා සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ‘රන්වැට අරමුදල් පාලක මණ්ඩලය’ පිහිටුවන ලදී.
වර්ෂා කාලයට බෝධීන් වහන්සේගේ පහත වැලිමළුව වතුර පිරීමට පටන් ගන්නා බැවින් වන්දනාකරුවන් මහත් අසීරුතාවයකට පත්වන අයුරු දුටු නාහිමියෝ රාජ්‍ය අනුග්‍රහයද ඇතිව එම ගැටලුවද විසඳීමට කටයුතු සැලසුවේ ය.
ඒ වන විට අග්‍රාමාත්‍යධුරය ඉසිලූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය ඇතිව බෝමළුව වටා පිහිටි ශ්‍රී දළදා පෙරහර මාවතද නවීකරණය කරවාගත් සිරිනිවාස නාහිමියෝ 2004 වසර අවසානයේ දී පෙරහර මාවත විවෘත කරවන ලදී.
පිරිවෙන් අධ්‍යාපනය ලබන මහා විහාරයේ භික්ෂූන් වහන්සේලාට පරිගණක අධ්‍යාපනය ලබාදීමේ අටියෙන් මහ විහාර භික්ෂු පරිගණක මධ්‍යස්ථානය නමින් ආයතනයක් පිහිටුවීමටද පෙරමුණ ගත් සිරිනිවාස නාහිමියෝ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ ‘නැණසල’ ව්‍යාපෘතිය ඔස්සේ එය තවදුරටත් සංවර්ධනය කළෝ ය.
ඉන්පසු මහා විහාර නැණසල ඔස්සේ ජය ශ්‍රී මහාබෝධිය ඇතුළු අටමස්ථානය පිළිබඳ තොරතුරු සහ ඡායාරූප ඇතුළත් වෙබ් අඩවියක්ද සැලසුම්කර විවෘත කෙරුනේ සිරිනිවාස නාහිමියන්ගේ දූරදර්ශී භාවයේ ප්‍රතිඵලයක් වශයෙනි.
බෝමළුව ප්‍රධාන අටමස්ථානයේ ආරක්ෂාව සහ තේවා කටයුතු තුළ විල්ලිදුර ඇත්තන් ඇතුළු රාජකාරී ශ්‍රේණිවල ජනතාවගේ රාජකාරි යළි විධිමත් කළ උන්වහන්සේ ඒවායේ ප්‍රතිලාභද ඔවුන්ට මැනවින් ලැබෙනසේ සංවිධානය කළහ. ශබ්ද පූජා ආදිය සඳහා මහනුවර ප්‍රදේශයෙන් නව ශිල්පීන් ගෙන්වා පාරම්පරික විහාරගම්වල ඔවුන් පදිංචි කරවීමට උන්වහන්සේ පියවර ගත්හ.
2004 වසරේ ඉල් මාසයේ 12 වැනි දින මහා වර්ෂාවට උඩමළුවේ දේවාල මළුව හෙවත් තුන්වැනි මළුව රැකගෙන සිටි මහා ප්‍රාකාර බැම්ම බටහිර පැත්තෙන් ගලවාගෙන ගොස් තිබුණේ මළුවේ ප්‍රාසාදයක්ද සමගිනි. මහා ප්‍රාකාරබැම්මද වර්තමානයට ගැළපෙන අයුරින් ඉදිකරවා ගැනීමට සිරිනිවාස නාහිමියන්ට වැඩිකලක් ගතවූයේ නැත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ මැදිහත්වීමෙන් දසදහසකට අධික පිරිසකට රැස්විය හැකි මහාධර්ම ශාලාවක් රජයේ වියදමින් සාදවා ගැනීමට උන්වහන්සේට හැකි විය.
2005 වසරේ වෙසක් මස 08 වැනි දින තායිලන්තයේ චූලාලංකාර විශ්වවිද්‍යාලය මඟින් ආචාර්ය උපාධියකින් සිරිනිවාස නාහිමියන් පුදන ලදී.
ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ වෙත එන බැතිමතුන්ට දිනහතක් මුළුල්ලේ බෝධීන් වහන්සේ ළඟටම ගොස් දැක බලා වැඳ පුදා ගැනීමේ උතුම් අවස්ථාව උදාකර දුන්නේ සිරිනිවාස නාහිමියන්ය.
2005 වසරේ නිකිණි මස 23 වැනි දින සිරිනිවාස නාහිමියන් මුල් වී ඉදිකළ උඩමළුවේ දෙවැනි රන්වැටද විවෘත කෙරිණි.
බෝමළුව පන්සලේ අභිනව සංඝාවාසය දැකුම්කළු අයුරින් තැනවීම, බෝධීන් වහන්සේ සඳහා අලුතින් රන් ආධාරක කණු සවිකරවීම, බෝධීන් වහන්සේ වැඩ සිටින පුණ්‍ය භූමිය ඉදිරිපස හා ඒ අවට භූමි භාගයේ තිබූ ඉදිකිරීම් ඉවත්කර එම භූමි භාගය ඉතා අලංකාරවත් අයුරින් සකස් කිරීම සිරිනිවාස නාහිමියන් අතින් සිදුව ඇති තවත් පින්බර මෙහෙවරකි.
මෑත කාලයේ දී විශ්ව පාරමී පදනමේ අනුග්‍රාහකත්වය ඇතිව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ උදෙසා අනර්ඝ කටයුතු රාශියක් ඉටු කිරීමට උන්වහන්සේට හැකි විය.
මේ අතර සමාජ මාධ්‍ය කැළඹූ පසුගිය කාලය තුළ දී සියලුදෙනාගේ කතාබහට ලක් වූ කරුණු කිහිපයක් වන රුවන්වැලි සෑය චූඩා මාණික්‍ය ගැටලුව මෙන්ම රුවන්වැලි සෑයේ පාදමේ මැණික් ඉවත් කිරීම ආදි සිදුවීම් කිහිපයක් ද උන්වහන්සේගේ කාල සීමාව තුළ දී සිදුව ඇත.
එමතු ද නොව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඉතිහාසය මතු පරපුරට දායාද කරනු වස් 2022 ජුනි මස 11 දින මහාචාර්ය අජිත් තල්වත්ත මහතාගේ ද සංස්කරණය සහායෙන් යුතුව ” ජය ශ්‍රී මහා බෝධිවංසය” නම් වූ මහානර්ඝ ග්‍රන්ථ රත්නය එලි දැක්වීමට උන්වහන්සේ අතිශය භාග්‍යවන්ත විය.
සම්බුද්ධ ශාසනය උදෙසාත්, උතුම් ජය ශ්‍රී මමා බෝධින් වහන්සේ ඇතුළු අටමස්ථානයේ උන්නතිය උදෙසාත් අපරිමිත මෙහෙවරක් ඉටු කරන ලද මහාවිහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික අනුරාධපුර බෝ මළුව මහා විහාරය ඇතුළු අටමස්ථානාධිපති, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, ආචාර්ය අතිගෞරවාර්හ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක මාහිමිපාණන්වහන්සේ උතුම් වූ නිවන් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු.
