අඩුපාඩුවකින් තොරව ප්‍රතිකාර දෙන්න මධ්‍යම පළාත් රෝහල් සූදානම්.

මහනුවර ,මාතලේ ,නුවරඑළිය දිස්ත්‍රික්ක තුනෙහි ග්‍රාමීය රෝහල් ,ප්‍රාදේශීය හා දිස්ත්‍රික් රෝහල්වල අවශ්‍ය පහසුකම් ප්‍රතිකාර ප්‍රමාණවත් තරම්  තිබෙනවා !

පළාත් සභාව යටතේ ඇති රෝහල් සියල්ල  නිරන්තරව අධීක්ෂණය කරනවා!

මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි !

මධ්‍යම  පළාත් සභාව සතු දිස්ත්‍රික් රෝහල් තුනෙහි හා ප්‍රාදේශීය රෝහල් ඇතුළු වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන 100 කට ආසන්න ප්‍රමාණයක ප්‍රතිකාර කටයුතු වලදී භාවිතා කරන ඖෂධ හා එන්නත් පිළිබඳව පුළුල් අවධානයක් යොමු කර තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි මහතා පවසයි .

රජයේ රෝහල් වල ඖෂධ හා එන්නත් පිළිබඳව මතු වී ඇති ගැටලු වලට මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය කුමන ආකාරයේ මැදිහත් වීමක් සිදු කර ඇත්දැයි අප කළ විමසුමකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවැසීය .

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මගින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා නිළධාරි කාර්‍යාල හරහා පළාත් සභාව සතු රෝහල් සියල්ලම නිරීක්ෂණය කරන බවද ඖෂධ හා එන්නත් භාවිතය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ආකාරයේ හානිකර සිදු වීමක් වාර්තා වී නොමැති බවද ඒ මහතා පවසයි .

මධ්‍යම ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගනු ලබන තීන්දු තීරණ හැර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෙනම තීරණ කිසිවක් ගනු නොලබන නමුත් පවතින තත්ත්වය කිසිසේත්ම සුළුවෙන් නොතකා රෝගී ජීවිත ආරක්ෂා කර ගැනීමට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද ඒ මහතා පැවැසීය .

වැඩිදුරටත් අදහස් දැක්වු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයා ,

“සුලු ලෙඩ රෝග වලට පවා ජනතාව පළාත තුල ඇති ප්‍රධාන රෝහල් වලට යොමු වීම කාලයක් පුරා සිදු වන ක්‍රියාවක්. හැකිතාක් සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කර ග්‍රාමීය ජනතාව ප්‍රාදේශීය රෝහල් වලට යොමු කිරීමෙන් ජාතික රෝහල් වල පවතින තදබදය අඩු කර ගත හැකියි.එමගින් ජාතික රෝහල් තුලින් ජනතාව අපේක්ෂා කරන ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් තදබදයකින් තොරව ලබාදීමට හැකියි.සුලුවෙන් සුව කළ හැකි බොහොමයක් රෝග සදහා ජනතාව ප්‍රධාන රෝහල් වෙත යොමු වීම සාමාන්‍ය දෙයක් වෙලා.ඊට හේතුව ප්‍රාදේශීය රෝහල් කෙරෙහි ජනතාව තුල ඇති අවිශ්වාසයයි.

ප්‍රාදේශීය රෝහල් කෙරෙහි ජනතාව තුල පවතින අනවබෝධය දුරු කිරීම මුලින්ම කළ යුතු දෙයක් ලෙස අප හදුනාගෙන තිබෙනවා .ප්‍රාදේශීය රෝහල් කෙරෙහි අනිසි බියක් ඇති කර ගැනීමට රෝගීන්ගේ පැත්තෙන් බෝහෝ හේතු පසුගිය කාලය පුරා සිදු වූ බව පිළිගත යුතුයි.පළාත් සභා රෝහල් පද්ධතිය වඩා උසස් ලෙස හා ජනතාවට සමීප ලෙස පවත්වා ගෙන යාම තුලින් වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයක් මතු වී ඇති ගැටලු වලට විසඳුම් දිය හැකියි .

( Sarath Samaranayaka )

Exit mobile version