අතුරුදහන් සිසුන් තිදෙනා කැළයේ සැඟවී සිටියදී හමුවේ.

ලක්ෂපාන වතුයායේ නිවෙස්වලින් අතුරුදහන්ව සිටි පාසල් සිසුන් තිදෙනා නල්ලතන්නිය , රිකාටන් ප්‍රදේශයේ කැළෑවක සැඟව සිටියදී සොයා ගත් බව නල්ලන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. පි. එස්. වීරසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු දැක්වූ වීරසේකර මහතා පවසන ලද්දේ තම දෙමාපියන් බැන වැදීම හේතුවෙන් 26වන දින නිවෙස්වලින් මෙම සිසුන් තිදෙනා පලාගොස් තිබු බවත් , ඒ පිළිබඳව එම සිසුන්ගේ දෙමාපියන් තම දරුවන් නිවෙස් වෙත නොපැමිණි බවට නල්ලතන්නිය පොලීසියට පැමිණිලි කළ බවත්ය.

එම පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ නල්ලතන්නිය පොලීසිය ප්‍රදේශයේ ජනතාවගේද සහාය මත මෙම සිසුන් තිදෙනා සෙවීමේ කටයුතු ආරම්භ කළ අතර ඒ අනුව රිකාටන් ප්‍රදේශයේ කැළෑ ප්‍රදේශය පරික්ෂාවට ලක් කිරීමේදි එහි සැඟව සිටි මෙම සිසුන් තිදෙනා සොයා ගෙන තිබේ.

පසුව එම සිසුන් තිදෙනා නල්ලතන්නිය පොලීසිය වෙත රැගෙනවිත් සිසුන්ගේ දෙමාපියන්ද පොලීසියට කැඳවා සිසුන්ට දැඩි ලෙස අවවාද කර ඔවුන් දෙමාපියන්ට භාර දීමට පියවර ගත් බවද වීරසේකර මහතා වැඩි දුරටත් පැවසීය.

Exit mobile version