අද ජනාධිපති විය යුත්තේ කවුද?.

ශ්‍රී ලංකාවට අද තවත් තීරණාත්මක දිනයකි. ඒ සමස්ථ ප්‍රජාවෙන් 80% කටත් වඩා දූෂිතව, ඒ දූෂිතභාවය නිසාම බිදුණු සියළුම ප්‍රජාවන් නැවත ගොඩනැගිය හැකි පාලකයෙකු පාර්ලිමේන්තුව මගින් තෝරාගත යුතුව තිබීමයි.

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට බෝම්බ දමා විනාශ කිරීමෙන් පසු එරට ගොඩනැගුනේ සියළුම දේශපාලන පක්ෂ එකතුව ගොඩනැගු ජාතික ප්‍රතිපත්තියෙනි. අද ශ්‍රී ලංකාවට ද බෝම්බ ගැසුවා හා සමාන වී තිබේ. ඒ ආර්ථිකයද බිද වැටි ඔවුන්ගේ පැවැත්මද බිද වැටි තිබීමයි. ශ්‍රී ලංකාව විනාශ කලේ මහ ජාතියම බව අලුතින් සදහන් කරන්නට දෙයක් නැත.

අප දන්නා කාලයේ සිටම ශ්‍රී ලංකාවේ වැඩ වර්ජන ආදිය ක්‍රියාත්මක කලේ සාමාන්‍ය ජනතාව නොවේ. සාමාන්‍ය ජනතාවගෙන් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් වැටුප්, උසස්වීම් වෙනුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජීවිත බිලි දුන්නේය.

අද පත්වන නායකයාට කරනම් ගසන්නට වන්නේ මේ දුෂිත මිනිස් පද්ධතිය සමගය. දූෂිත දේශපාලඥයන්, රාජ්‍ය සේවකයන්, විවිධ ව්‍යාපාරිකයන් ඇතුළු දූෂිත පද්ධතියෙන් එන ප්‍රශ්නවලට මුහුණ දීමට ඔහුට සිදූ වේ.

නායකයාට රට පාලනය කිරීමට සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එපා, නීතිය එපා වැනි දැඩි නීතීවිරෝදී සමාජයන් සමගය. කෙටියෙන්ම සදහන් කළහොත් රස්තියාදුකාරයින්, හොරුන්, මංකොල්ලකරුවන්, දූෂිතයන්ගෙන් ගහන රටක් පාලනය කිරීමට සිදූ වේ. ඊටත් වඩා වැදගත් වනුයේ බිදුණු රටක, ඔවුන් ඉල්ලන සියළුම දේවල් දිය හැකිද යන්නයි.

අප මේ දින කිහිපයේම දුටුවේ තම තමන්ගේ දේශපාලන අනාගතය ගොඩගැනීම සදහා වෙහෙසෙන දේශපාලඥයන් බහුතරයකි. ඔවුන් බලා සිටින්නේ ඇමතිකම් ගැනීමටය. කවුරු ජනාධිපති වුවත් රට ඉදිරියට ගෙනයාමට නොබෙදුණු ප්‍රතිපත්ති මත පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය යුතුව තිබුණි. නමුත් ඊයේම පාර්ලිමේන්තුව කෑලි වලට කැඩුනි. විය යුතුව තිබුනේ සියලු නායකයන් එකතු වීමයි.

ඒ බෙදීම ස්තීර වශයෙන්ම රට තව දුරටත් බිදිමකි. රටේ පාලනයත්, දේශපාලනයත් පිළිකුල් කරන පීඩිත මිනිසුන් ඉල්ලන්නේ එය නොවේ. අද වන විට පොහොට්ටුවේ බහුතරයක් මන්ත්‍රීවරුන්ට ජනතාව දැඩි අප්‍රසාධයක් එල්ල කරයි. යන්තමින් හෝ ඉතිරි උනේ සජිත්ගේ සහ අනුරකුමාරගේ පිල පමණි. ඩලස් ජනාධිපති වී සජිත් අගමැති වී ඔවුන්ටද රට ගොඩගැනීමට නොහැකි වුහොත් සජිත්ගේ පිලද සම්පූරනයෙන්ම විනාශ වේ.

තව බොහෝ දේ ලිවිය හැකිය. මේ තිදෙනාගෙන් කවුරු පත් වුවත් බෙදීමක් තිබෙන බැවින් රට තව දුරටත් අරාජික වීම නොනවතිනු ඇත. දේශපාලනබලු පොරය ජනතාවත්, ඔවුනුත් විනාශ කරන බව තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකි විය.

කොහොම උනත් අප සියලු දෙනාගේ ප්‍රර්ථනාව නම් ඉදිරියවත් ශ්‍රී ලාංකිකයන්ට යහපත් වේවා යන්නයි.

Exit mobile version