අධිකරණයෙන් ලැබූ ජයග්‍රහණයේ පණිවිඩය විපක්ෂ නායක සජිත් අක්මීමන දී රටට කියයි.

පළාත් පාලන මැතිවරණය අකර්මන්‍ය කිරීමට ආණ්ඩුව ගත් උත්සාහය පරාජයට පත්වන තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් බවත්, පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් නොකිරීමට ආණ්ඩුවක් ගනු ලැබූ කුමන්ත්‍රණයක් ඒ හරහා පරාජයට පත්වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මුදල් ලේකම් සහ මුදල් අමාත්‍යවරයාට පළාත් පාලන මැතිවරණය සඳහා අයවැයෙන් වෙන් කළ මුදල් ලබා නොදීමෙන් වැළකෙන ලෙසත්, අයවැයෙන් මැතිවරණ සඳහා වෙන් කොට ඇති මුද්‍රණාලයට ලබාදිය යුතු මුදල් ලබා නොදීමෙන් වළකින ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුන් බව පැවසූ විපක්ෂ නායකතුමා එය ජනතා පරමාධිපත්‍යය සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී උදෙසා ලබාදුන් ඓතිහාසික තීන්දුවක් බවත් පැවසීය.

මැතිවරණයක් ලබා නොදෙන ලෙස සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා අසලට ගොස් ඇවිටිලි කරන බවට ජනාධිපතිවරයා විසින් පැවසූ විකාර සහගත ප්‍රකාශ ඒ හරහා ද බොරුවක් වන බව පැවසූ විපක්ෂ නායකතුමා, අද තීන්දුව ලබාදුන් නඩුව පවරා රටේ ජනතාවගේ ඡන්ද අයිතියත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය ගනු ලැබූ සුවිශේෂී ඉදිරි පියවරක් බවද විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ අක්මීමන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Exit mobile version