අරගලය තුල ශක්තිය දුටිමි. නිර්පාක්ෂිකයන් යනු වෙනම කුලයක්.

මාසයකුත් ඉක්මවා ගිය තැන විධායකය සතු බලතල අත් හරින තැනට ගෝඨාභය පත් කිරීමට තරම් නිර්පාක්ෂික අරගලකරුවන්ගේ පහර ප්‍රභල විය.

බලය නැතුව හුස්මත් නොවැටෙන මහින්ද අගමැති පුටුව අත හැර පලා ගොස් ඇත.

රටේ දැවෙන ප්‍රශ්ණ වලදීද සිනා සී අහක බැලූ මැති ඇමති වරු දෙදරා කැඩී බිඳී සුනු විසුණුව උන් උන් කා කොටා ගනිමින් සිටිති.

දැන් අගමැති පුටුවට තවත් දේශපාලුවන් පත් වේවි. එයටත් පොර බදිමින් සිටිති. ඒ තුලද බිය පැල පදියම්ව ඇත. නමුත් උන් එය කරාවි.

නමුත් අපිට නැවෙන්නට ඉඩක් නැත.

ගාලු මුවදොර දින 33 ක්, මහනුවර දින 6ක් කිලෝමීටර් 30ක පා ගමනක්, නගර 8ක කතා රැසක් තුල මම මිනිසුන්ගේ දෑස් තුල System change එකක්, ක්‍රමයේ වෙනස් වීමක් වෙනුවෙන් දැල් වුණු බලාපොරොත්තුවේ ගිණි පුළිඟු දුටිමි.

අද ගාලුමුවදොර තුල නිර්පාක්ෂික අරගලයට මහජනතාවගේ අරගලයට මාධ්‍ය සාකච්ඡා යැයි කියමින් උප්පැන්න ලියන සැටි දුටිමි. කලකිරීම තුල නැවත ඉපදුණෙමි. මොකද අත් හරින්නට බැරිය.

මහා ගැටුම වේලාවේ සිදුවූ සියල්ල ලියා තැබීම නොකරමි. නමුත් ඒ වෙනුවෙන් පැමිණි ඉහත උප්පැන්න වලට හිමිකම් කීමට බැරි ජනතාවට සැබෑම නිර්පාක්ෂික අරගලකරුවෙක් ලෙස හිස නමා ආචාර කරමි. ඔබලා උප්පැන්න ලියන මොහොත තුලද සැබෑ සටන නැවතී නැත. ඔවුන් හැම තත්පරයේම අරගලයේය.

ඉතින් මම හැම මොහොතේම කියන්නේ

මේක දිනන අරගලයක් මිත්‍රයා.

ඔව් අපිට නවතින්නට ඉඩක්ම නැත. අපි ඔබේ විශ්වාසය රකිමු.

මම නිර්පාක්ෂික අරගලකරුවන් වෙනුවෙන්.

සචින්තන විජේරත්න

(උපුටා ගැනීම නිර්පාක්ෂික අරගලකරුවන්ගේ සමුහයෙන්)

Exit mobile version