අවංක පොලිස් නිළධාරින්

පාතාලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල වර්ධනයක් පැවතීම පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ජා වී තිබෙන අතර ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු පිරිස් අපරාධ සිදුකිරීම සඳහා යොමුවීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

වාර්තා වන ආකාරයට එහිදී අපරාධකරුවන් හඳුනාගැනීම පිළිබඳව යම් දුර්වලතාවයක් පවතින බවත් තම ප්‍රදේශ තුළ සිටින අපරාධකරුවන් හඳුනාගැනීමට දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් සිටීනම් අපරාධ සිදුවීමට පෙරම එය වළක්වා ගත හැකි බවත් ඒ හේතුවෙන් දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් හඳුනාගෙන ඔවුන්ව අදාළ ප්‍රදේශවලට සේවය සඳහා යොමු කිරීමට අවධානය යොමුකර ඇති බවත් පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර පාසල් දරුවන් ඉල්ලක්ක කර මත්පෙති මඟින් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ක්‍රියා කරන බව පොලිස් නිලධාරීහු මෙහිදී පෙන්වා දී තිබේ.

මත්ද්‍රව්‍ය පාලනයේදී මුලිකවම සිදුකළ යුත්තේ රට තුළ ට එම මත්ද්‍රව්‍ය පැමිණීම වැළක්වීම බවද ඔවුහු වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටි අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීම වැනි නීති දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාවේදී සාකච්ජා වී ඇත.

රිය අනතුරු හේතුවෙන් විශාල ජිවිත සංඛ්‍යාවක් රටට අහිමි වන බවත් 30 වසරක මෙරට පැවති යුද්ධයෙන් මියගියේ රණවිරුවන් 29,000ක් බවත් පසුගිය වසර 10 තුළ මාර්ග අනතුරුවලින් පමණක් පුද්ගලයින් 27,000ක් පමණ මියගොස් ඇති බවත් සභාපතිවරයා මෙහිදී සිහිපත් කර තිබේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපකරණ හැකි ඉක්මනින් මිලදී ගෙන දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ලබාදීමට කටයුතු කරන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

දේපොළ කොල්ලකෑම්වල වර්ධනයක් සිදුව ඇති බවත් ඉන් බහුතරයක් මිනිසුන්ගේ නොසැලකිලිමත් බව නිසා සිදුවන බව පොලිසීය කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පෙන්වා දෙන ලද අතර පුද්ගලයින් තමන්ගේ නිවාස ,ගොඩනැගිලි හා අනෙකුත් දේපොළ සම්බන්ධයෙන් වඩාත් අවධානයෙන් පසුවීම ඉතා වැදගත් බවද පොලීසිය පෙන්වා දෙන ලදී.

එසේම යම් යම් පුද්ගලයින් තමන්ගේ ආරක්ෂාව උදෙසා පෞද්ගලික ආරක්ෂකයින්ගේ සේවාව ලබා ගැනීම පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමුවී තිබේ.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පෞද්ගලික ආරක්ෂකයින් පිරිවරාගෙන ගමන් කරන ඇතැම් පුද්ගලයින් හේතුවෙන් මහජනතාව යම් යම් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දී තිබේ.

යම් පුද්ගලයකු ලබාගන්නා පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව නීතිමය වශයෙන් පොලීසියට මැදිහත්විය නොහැකි බව කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු මෙහිදී පැවසුහ.

කෙසේ වෙතත් එම පෞද්ගලික ආරක්ෂක සේවා වල පිරිස් ආයුධ භාවිත කරන බැවින් යම් නියාමනයක් අවශ්‍ය බව කාරක සභාව පෙන්වා දෙන ලදී.

පුද්ගලයින් පෞද්ගලික ආරක්ෂක සේවා ලබා ගැනීමේදී එම නියාමය කිරිමට අදාළ නිර්ණායක සකස් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයට උපදෙස් ලබාදීම කාරක සභාව තීරණය කරන ලදී.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, චන්දිම වීරක්කොඩි, චන්න ජයසුමන, චාල්ස් නිර්මලනාදන්, ප්‍රදීප් උඳුගොඩ, සුදර්ශන දෙණිපිටිය යන මහත්වරුන් මෙන්ම මහඡන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිට තිබේ.

Exit mobile version