ආචාර්ය පියසේන වික්‍රමරත්න
අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ කිවියකු මෙන්ම ප්‍රකට භාෂා පරිවර්තකයකු වූ ආචාර්ය පියසේන වික්‍රමරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි. ජනාධිපති සම්මානලාභියකු වූ හෙතෙම ගුරු වෘත්තියේ සිට එයට ආයුබෝවන් කියා ලේක්හවුස් ආයතනයට පැමිණ එහි වසර 25ක පමණ කාලයක් භාෂා පරිවර්තකයකු හා මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළේය. පසුව ජනාධිපති කාර්යාලයේද සේවය කළ වික්‍රමරත්න මහතා මෙරට හිටිවන කවියන් අතර ප්‍රචලිත විශිෂ්ඨ කවියකු වන අතර ඔහු විසින් වසර 60ක හිටිවන කවි එකතුවක් සිදු කළ අතර එය මෙරට හිටිවන කවි එකතුවේ විශිෂ්ඨතම අංගය ලෙස අදටත් සැලකේ.
කෘති රැසක් රචනා කර ඇති ඔහු විසින් 1999 වසරේ දී “මිහි මඩලෙන් එහා” යනුවෙන් රචනා කළ පර්යේෂණ කෘතියට ගෞරව ආචාර්ය පදවියක්ද හිමිවිය. ඒ එය ආගම, දර්ශන විද්‍යාව, මනෝ විද්‍යාව යනාදි සියල්ල එකතු කර මෙරට පළ කළ විශිෂ්ඨතම කෘතියක් වූ නිසාය.
ඔහුට උපහාර පිණිස ලැබුණු උපහාර සම්මාන අතර කාව්‍යමය වජ්‍රි, කාව්‍ය ප්‍රදීප, කිවිපති, කලාභූෂණ, සරසි ප්‍රසාදිනී, ස්වර්ණ පද්ම, කලාකීර්ති උපහාරද වේ. 2011 වසරේ නව දිල්ලියේ පැවති නොබැදි ජාතීන්ගේ සාහිත්‍ය සම්මේනලයට මෙරටින් සහභාගි වූ එකම නියෝජිතයා වුයේත් ඔහුය.
සමස්ත ලංකා කවි සම්මේලනයේත් මහරගම කවි සම්මේලනයේත් සභාපති ධුර හෙබ වූ ඔහු සිංහල තරුණ කවි සමාජයේ අනුශාසක ධුරයද දැරුවේය. අගනුවර තරුණ කවි සමාජයේද ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඔහුගේ අන්තිම කැමති පත්‍රයේ දක්වා තිබුණේ අවමංගල්‍යමයට එන කවියන්ට විශේෂ තැනක් ලබා දෙන ලෙසයි.
දිනමිණ පුවත්පතේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියක වූ ජේ.ශීලා වික්‍රමරත්න මහත්මියගේ වැඩිමල් සොහොයුරා වන පියසේන වික්‍රමරත්න මහතා කෙටි කලක් අසනීපව සිටියේය. මිය යන විට 89 වැනි වියෙහි පසු වූ වික්‍රමරත්න මහතාගේ දේහය මහරගම පිළියන්දල පාරේ (ඇල්බට් කඩේ අසල) ඒ මහතා පදිංචිව සිටි නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Exit mobile version