ආරක්‍ෂක අමාත්‍යාංශය සිංහල හා දෙමළ අලුත් අවුරුද්‌දෙන් පසු ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ සිය වැඩ අරඹයි

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මියගේ ආරාධනයෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මෙන්ම ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, අද (17) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්‌ඩලය සමඟ අලුත් අවුරුදු වලින් පසුව වැඩ ඇරඹීමේ අවස්ථාව වෙනුවෙන් පිළියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගි වීම සඳහා අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණියේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ සේවය කරන සිවිල් සහ හමුදා නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රත්නායක සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහක ද නිරත විය.

අනතුරුව මෙම‌ ආරක්‍ෂක ප්‍රධානීන් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය වෙත සිය අලුත් අවුරුදු සුබපැතුම් පිරිනැමූ අතර, සුබ මොහොතින් සිය රාජකාරී ආරම්භ කරන ලදි.

අලුත් අවුරුදු උත්සවය හා බැඳුනු සුවිශේෂී චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් වලට මුල්තැන දෙමින් මෙහි සියලු කටයුතු සිදුකරන ලදි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීමෙන් පසු රැකී රක්‍ෂා සඳහා පිටත්වීමේ චාරිත්‍රය අද (අප්‍රේල් 17) දින පෙරවරුවේ යෙදී තිබුණි.

Exit mobile version