ඇඹිලිපිටිය ගොවීන් සමනල වැවට කඩා පනී – ජනපතිතුමනි මේ ඔබේ අවධානයටයි.

ඇඹිලිපිටිය – වලව ගොවි ජනතාව මේ වන විට බෙලිහුල්ඔය සමනල වැව පිවිසුම ආසන්නයේ උද්ඝෝෂණයක නිරත වෙමින් සිටී. කිලෝ මීටර් 75 ක් පමණ දුර ගෙවා ඔවුන් සමනල වැව ප්‍රදේශයට පැමිණ සිටින අතර එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරීන් මෙම ගොවි ජනතාව සමඟ ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බව අපට ලැබී තිබෙන වීඩියෝ දර්ශන තුළින් දක්නට ලැබේ.

මෙම ස්ථානයේ රැස්ව සිටින ගොවි ජනතාව පවසන ආකාරයට සමනල වැව ජලාශයේ ජලය අක්කර අඩි 80,000 ක් පමණ තිබෙන බවත් , ඔවුන් ඉල්ලා සිටින්නේ ඉන් ජලය අක්කර අඩි 20,000 ක් පමණක් බවත් සඳහන් වේ.

එමෙන්ම ඔවුන් පවසන්නේ වාරි මාර්ග අමාත්‍යවරයා ජලය ලබා දිය හැකි බව ප්‍රකාශ කර තිබෙන බවයි. නමුත් කාංචන විජේසේකර අමාත්‍යවරයා එයට විරෝධය දක්වා ඇති බැවින් රැස්ව සිටින ජනතාව ඔහුට දැඩි අප්‍රසාදය පල කරයි. ඒ අනුව මෙම ප්‍රශ්නයට මැදිහත් වී සති දෙකක පමණ කාලයකට ජලය අක්කර 20,000 ක් ලබා දෙන මෙන් මෙම ගොවි ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී. තවද මෙම ගොවි ජනතාව ඉතාම සාමකාමීව මෙය ඉල්ලා සිටින නමුත් දින කිහිපයක් ගත වුවහොත් අනිවාර්‍යෙන්ම එම ස්ථානයේ සිටින ගොවි ජනතාවට පහර දීමට ආරක්ෂක අංශ කටයුතු කළ හැකි බව අද (05) දින මේ වන විට සිදුවන සිදුවීම්වලින් පැහැදිලි වේ.

එමෙන්ම සමනල වැව ප්‍රදේශය අවට මාර්ගවල සන්නද්ධ පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්‍ය බලකා කණ්ඩායම් යොදවා ආරක්ෂාව තර කර තිබේ.

Exit mobile version