ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී ජාතික ගීය ගායනය හේතුවෙන් පීඩාවට හෝ සිත් රිදවීමකට ලක් වූ ඕනෑම අයෙකුගෙන් හෘදයාංගමව සමාව ඉල්ලා සිටින බව ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ජාතික ගීය ගායනා කිරීමේදී තමන් විසින් සමහර වචන උච්චාරණය කරන ලද ආකාරය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇති වීම පිළිබඳ ඇගේ අවධානයට ලක් ව ඇතැයි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් උමාරා ප්‍රකාශ කර ඇති අතර ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිදු ආකාරයක වැරදි අර්ථකතනයක් සැපයීමට තමන් කිසිවිටෙක අදහස් නොකළ බව ඇය සඳහන් කර තිබේ .
එමෙන්ම මාතෘ භූමියට ආදරය කරන ගායිකාවක වශයෙන් සෑම අවස්ථාවකදීම රටේ අභිමානය නඟා සිටුවීම සඳහා ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කර ඇති බව ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .
