කසිප්පුකාරයන්ට සමාන වූ ලංකාවේ ආර්ථිකය

ලෝකප්‍රකට ආර්ථික විශ්ෂඥවරියක් විසින් ලංකාවේ ආර්ථිකය “ජීවිතය සමාන වන්නේ ගමේ කසිප්පු  විකුණා ලැබෙන ආදායමෙන් දිනපතා ෂැම්පේන් බොන අයෙකු ගේ ජීවිතයට සමාන”  බවට පවසා තිබෙන පුවතක් වාර්තා වේ. එය ඉතාම පහසුවෙන් ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි ආකාරයක විස්තරයක් වන අතර අපට ඉගෙන ගැනීමට බොහෝ දේවල් ඉතිරිකර තිබේ.

“ එයින් සරලව පැහැදිලි කරන්නේ නොකළ යුතු දේ කරමින් ඉතා ම සුළු ආදායමක් ලබමින්, එම ආදායම වැඩිකරගන්නට හෝ වැරදි නිවැරදි කරගන්නට කිසිම සූදානමක් නැතිව, එම ආදායමට වඩා කිහිප ගුණයක මුදල් තේරුමක් නැති දේට වියදම් කරමින්, එම ආදායම්-වියදම් පරතරය පියවා ගන්නට ණය ගනිමින්, එම ණය සහ පොලී වාරික ගෙවන්නට තව තවත් ණය ගනිමින් ලංකාව මෙතෙක් කල් පවත්වාගෙන ගිය ආර්ථික පිළිවෙතයි”.  එය අපේ භාෂාවෙන් නම් ණය අරගෙන නය සහ පොලිය ගෙවා ගැනීමට තවත් නය මුදලක් ගැනීම , ඒ නය ගෙවා ගැනීමට තවත් ණය ගැනීම ලෙස විවිධ ස්ථානවලින් නය ගනිමින් ණය ගෙවීම හැර ආදායම් ලබමින් ණය ගෙවීමක් සිදු නොකරන බවයි.

මේ ස්වයං-විනාශකාරී ගමනේ අවසන් කෙළවර ආර්ථික බංකොළොත්භාවය බව තේරුම් ගැනීම අපහසු නැහැ. මේ වන විට අප පැමිණ සිටින්නේ එතැනටයි.

රටේ ආර්ථිකය තුළ පමණක් නොව ලංකාවේ බොහෝ මධ්‍යම පාංතික මිනිසුන් ගේ ජීවිත තුළ ඇත්තේත් මේ සංසිද්ධියමයි. සරල උදාහරණයක් කිව්වොත් ලංකාවේ මධ්‍යම පාංතික මිනිසුන්ගෙන් පැහැදිලි බහුතරයකට තමන් ගේ ම කියා වාහනයක් මිලදී ගන්නට වත්කමක් නැහැ.

එවැනි වත්කමක් නැතිවුණත් ඔවුන් කරන්නේ බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට ණය වී පුද්ගලික වාහනයක් මිල දී ගැනීමයි. ඔවුන් මේ ණය ගෙවන්නේ තමන් ගේ රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ගයක් සොයාගැනීමෙන් හෝ වෙනදාට වඩා වැඩි පැය ගණනක් වැඩ කිරීමෙන් නෙවෙයි.

ඔවුන්ට මේ ණය ගෙවන්න පුළුවන් වන්නේ තෙල්, විදුලිය ඇතුළු බොහෝ යටිතල පහසුකම්, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන්  සහනාධාර මිලට ඔවුන්ට ලැබෙන නිසයි.

ඒ කියන්නේ බොහෝ මධ්‍යම පාංතිකයන් සිදු කරන්නේ මේ සහනාධාරවලට පින් සිදු වන්නට, මාසයෙන් මාසයට රෝලක් ගසාගෙන, තමන්ට සත්‍ය වශයෙන් ම දරන්නට බැරි ‘ෂැම්පේන් ජීවිතයක්’ පවත්වාගෙන යාමයි.

මේ සහනාධාර ලබාගැනීමේ අවශ්‍යතාව නිසා ඔවුන් අති විශාල රාජ්‍ය සේවයක් කිසිදු තාර්කික හේතුවක් නැතිව පවත්වාගෙන ‍යනවා. මේ රාජ්‍ය සේවය ඉතා ම අකාර්‍යක්ෂමයි. ඵලදායීත්වයෙන් තොරයි. දූෂිතයි.

ලංකාවේ ජනගහනයෙන් 1/20න් මේ රාජ්‍ය සේවයේ වැඩ කරනවා. ඇත්තට ම ඔවුන්ගෙන් බහුතරයක් රාජ්‍ය සේවයේ රැකියා තෝරාගන්නේ ම එය අකාර්‍යක්ෂම සහ ඵලදායීත්වයෙන් තොර නිසයි. ඒ වගේ ම මියයන තුරු ම ලැබෙන විශ්‍රාම වැටුප නිසයි.

මේ අනුව පොදුවේ ගත්තම ලංකාවේ සාතිශය බහුතරයක් මිනිසුන් ගෙවන්නේ තමන්ට ඇත්තට ම ඔරොත්තු නොදෙන, තිරසාර නැති (unsustainable) ජීවිතයක්.

ඔවුන් ගේ මේ තමන්ට ඔරොත්තු නොදෙන, තිරසාර නැති ජීවිතයේ බර දරන්නේ ආණ්ඩුවයි. ආණ්ඩුව උපයන කුමන හෝ සුළු ආදායමක් වේ නම් එය මේ තිරසාර නොවන ජීවිතය පත්වාගෙන යාම සඳහා වැය කරන්න සිදුවෙනවා.

මිනිසුන් බොහෝ විට මැතිවරණවල දී සිදු කළේ මේ අවුල් සහගත ක්‍රමය දිගට ම පවත්වාගෙන යාම සඳහා සුදුසු ම පාලකයන් පත් කරගැනීමයි. ඒ කියන්නේ, එය මුළුමනින් ම තමන් ගේ වාසිය වෙනුවෙන් සිදු කළ දෙයක් මිස, රටේ පොදු යහපත වෙනුවෙන් කළ දෙයක් නොවෙයි.

මේ අර්බුදයත් සමග සිදු වී ඇති එක ප්‍රධාන දෙයක් නම් ආණ්ඩුවට ජනතාවගෙන් බහුතරයක් විසින් මෙතෙක් ගෙවූ ති‍රසර නොවන ජීවිතයේ බර දරන්නට පුළුවන්කමක් නොවීමයි.

ඒ නිසා රටේ මධ්‍යම පංතිය විසින් ඔවුන් මේ දක්වා අනුගමනය කළ ජීවිතය පිළිබඳ කටුක පාඩමක් මේ වන විට ඉගෙන ගනිමින් සිටිනවා. අඩු ම තරමින් මෙතැන් සිට ඉදිරියට යනවා නම් ඔවුන්ට මේ තාක්කල් ගත කළ ඒ තිරසර නොවන ජීවිතය වෙනුවට, එයට වඩා වෙනස් ජීවන රටාවක් වැළඳගන්නට සිදුවෙනවා.

මෙතෙක් කල් පුරුදුව සිටි ජීවන රටාවෙන් බැහැරව අලුත් ජීවන රටාවකට මාරු වීම ඉතා ම වේදනාකාරී එකක්. එහෙත් මේ වන විට බොහෝ දෙනා එම අලුත් ජීවන රටාවට අමාරුවෙන් හෝ හැඩගැසෙමින් වෙමින් සිටිනවා.

මෙම වෙනස ආර්ථික කඩාවැටීමක් අනපේක්ෂිතව සිදුවුණු එකක් නිසා ඔවුන්ට ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් ගෙවන්න සිදුවෙනවා. මේ දිනවල අප මුහුණ දෙන දරුණු දුෂ්කරතා යනු එම ක්‍රමයේ කඩාවැටීම වෙනුවෙම් අප ගෙවන පිරිවැයයි.

ලංකාව මේ අර්බුදයෙන් දිගුකාලීනව ගොඩ එනවා නම් ගොඩඑන්නේ ලංකාවේ මධ්‍යම පංතිය මේ අවුල ගැඹුරින් තේරුම් ගත් දවසටයි. ආණ්ඩුව හෝ සහනාධාර මත වුවමනාවට වඩා යැපෙන්නේ නැතිව, ස්වශක්තියෙන් තමන්ට ඔරොත්තු දෙන පරිමාණයේ ජීවිතයක් ගෙවන්නට හිත හදගත් දවසටයි. “ ලෙස එහි සදහන් වේ.

කෙසේ වෙතත් ආණ්ඩුවේ සහනාධාර මත යැපෙන්නට තරම් අවශ්‍ය මානසිකත්වයන් සකසා තිබෙන්නේ පාලකයන් විසින්මය. සාමාන්‍ය ජනතාව අනිවාර්යෙන්ම ජීවත්හ් වන්නේ සහනාධාර මත නොවේ. එසේම ඔවුන්ගේ සාමාන්‍ය ජීවන් රටාව වෙනස් කලේ දේශපාලන අධිකාරිය විසිනි. අනවශ්‍ය ලෙස අවශ්‍යතා ඇතිකරමින් ඒවා ලබාගැනීමට ජනතාව පොළඹවන ලද්දේ ඔවුන්ය.

රටේ පාලකයන් රට විකුණා මුදල් ගෙන ඒවා විනාශ කරන අතර රටේ පාලකයන් ජනතාවටද එය පුරුදු කර  දැන් ශ්‍රී ලංකාව ලෝකයට සින්නවෙමින් පවතින වැසියන්ගේ දේපල බැංකු වලට සින්න වෙමින් තිබේ. දේපල බැංකුවලට සින්න වුවාට ඒවා මුදල් කරගැනීමට වැසියන් සතුව මුදල් නැත. එබැවින් සියල්ලම් දූෂණය වුවත්, සාමාන්‍ය ජනතාව මේ පිඩාව විද දරාගෙන තිබුනත්, රාජ්‍ය සේවය මේ තත්වය කිසිදා තේරුම් නොගැනීම මත දිගින් දිගටම සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වීම වලක්වා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත.

Exit mobile version