කාංචනගේ සද්දෙ බැස යයි. වංචාවකුත් එලියට එයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ලබන වසරට ගල් අඟුරු සැපයීම වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබා දෙන්නේ ඉකුත් 12 වෙනිදාය.

එම අනුමැතිය අනුව සැපයුම් කරුවන්ගෙන් සහ ආණ්ඩුව අතර සිදුවන ගණුදෙනුවක් ලෙස ණය පහසුකම් යටතේ ගල් අඟුරු සැපයීම සඳහා මිල ගණන් කැඳවා තිබේ.

විෂයභාර ඇමති කංචන විජේසේකර ඉකුත් 19 වනදා තමින් මෙම ඇමති මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබෙන්නේ ඉදිරිපත් වූ මිල ගණන් සැලකිල්ලටගෙන ගල් අඟුරු මිලදී ගැනීමේ ඉදිරි ක්‍රියාවලිය සඳහා ඇමතිමණ්ඩල අනුමැතිය අපේක්ෂාවෙනි.

ප්‍රසම්පාදන මාර්ග උපදේශන අනුව මිල ගණන් කැඳවා තාක්ෂණික ඇගයීම්ද සිදු කොට තෝරාගතයුත්තේ සුදුසුකම් සැපිරූ එක් ලන්සුකරුවෙකු පමණි. ඇමති මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටිය යුත්තේ අදාල සුදුසුකම් සැපිරූ ලන්සුකරුවාගෙන් එම මිලදී ගැනීම සිදුකිරීමටය. එනම් ඇමතිමණ්ඩල අනුමැතිය දිය යුත්තේ නිශ්චිත හා නිරුවුල් මුදලක් වෙනුවෙනි. එහෙත් විශයභාර ඇමතිගේ මෙම ඇමති මණ්ඩල සංදේශය හිස් චෙක්පතක් බඳු එකකි. මීට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබාදීම යනු හිස් චෙක්පතකට අත්සන් කිරීම හා සමානය.

ඇමතිවරයා මුලින් සඳහන් කර සිටින්නේ ගල් අඟුරු මෙට්‍රික්ටොන් හත්ලක්ෂ විසිදහසක් (720,000) එක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 240ක් බැගින් වන පරිදි සැපයීමට ඉන්දුනීසියානු සමාගමක් තෝරාගෙන ඇති බවයි. මෙම සංදේශයට අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අවශ්‍ය සුදුසුකම් සපුරා අඩුම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ අදාල ඉන්දුනීසියානු සමාගම බව පෙනී යයි. ඒ අනුව එම සමාගමෙන් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ලංකා ගල්අඟුරු පුද්ගලික සමාගමේ සභාපතිට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලෙස මෙම සංදේශයේ සඳහන්ය.

එහෙත් අඩුම ලංසුකරු තෝරාගනු වෙනුවට මිල ගණන් ඉදිරිපත් කළ සියලු ලංසුකරුවන් අදාල ප්‍රසම්පාදන කමිටුව විසින් තෝරාගෙන තිබෙව බවක් මෙම සංදේශයෙන් තහවුරු වේ. මන්ද ඇමතිවරයා ඇමති මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලාසිටින්නේ සුදුසුකම් සැපිරූ පළමු සමාගම එනම් අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගම අදාල සැපයුම් කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කිරීමට අසමත් වන්නේනම් ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී තුන්වැන්නා ලෙස ලයිස්තු ගතකෙරුණු ඕස්ට්‍රේලියානු සමාගමකට කොන්ත්‍රාත්තුව පිරිනැමීමටය. එම සමාගමේ ලංසුව කවරක්ද යන වග ඇමතිවරයා ඇමති මණ්ඩලයට හෙළි කරන්නේ නැත.

පළමු ලංසුකරු සහ තුන්වන ලංසුකරු සැපයීම් කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කිරීමට අසමත් වන්නේනම් හතරවන ලංසුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රධානය කළ යුතු බව ඇමතිවරයා ඇමති මණ්ඩලයට නිර්දේශ කර තිබෙන්නේ එම සමාගමේ මිල ගණන්ද අනාවරණය නොකරමිණි. සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාල තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තා ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටීමට ඇමතිවරයා වගබලාගෙන තිබේ.

පළමුවන ලංසුකරු හා තුන්වන ලංසුකරු අසමත්වන වටපිටාවක් තුළ විකල්පය ලෙස තෝරාගැනීමට ඇමතිවරයා නිර්දේශ කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම ගල් අඟුරු මෙරටට සැපයීම සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක් වූ සමාගමකි.

(උපුටා ගැනීම. ලකා ට්රුත් වෙබ් අඩවිය)

Exit mobile version