තිලිනි ප්‍රියමාලිට මුදල් දුන් පුද්ගලයින් ලෙස ප්‍රකාශකරමින් සමාජ මාධ්‍යවල සංසරණය වූ ව්‍යාජ නම් ලයිස්තුව සැකසූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් ඊයේ දින (2022.10.09) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. අනතුරුව මාධ්‍ය වෙත දැක්වූ අදහස්.
“ඊයේ දවස පුරාම සමාජ මාධ්‍ය වල වේගයෙන් සංසරණය වූවා නම් ලයිස්තුවක් තිලිනි ප්‍රියමාලිට මුදල් දුන් දේශපාලඥයින් ව්‍යාපාරිකයන් භික්ෂූන් වහන්සේලාගේ නම් ලයිස්තුව කියලා. ඇත්තෙන්ම එය ව්‍යාජ එකක්. එහි මගේ නමත් සඳහන් වුණා . ගෙදර නෝනලා සල්ලි ඉල්ලු වීට අපි හැමවෙලේම කියන්නේ අතේ සල්ලි නෑ කියලා. එහෙනම් ඉතින් තිලිනි ප්‍රියමාලිට දෙන්න සල්ලි කොහෙන්ද කියලා ගෙවල්වල පවා ප්‍රශ්න ඇති වෙන කාරණයක්. වගකීමෙන් කියනවා මේක ව්‍යාජ නම් ලැයිස්තුවක්. ඒ වගේම එතෙන්ට දාලා තියෙන්නේ පහුගිය දිනවල පාර්ලිමේන්තුවේ ආණ්ඩුව කර්කශ ලෙස විවේචනයට කළ මම, දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමා, හේශා විතානගේ මන්ත්‍රිතුමා, චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා වගේ අයගේ නම්. අර හොරුන් කියල සම්මත සල්ලි කුට්ටි පිටින් එකතු කරන් ඉඳලා ඡන්ද කාලෙට එහෙම බොහොම ප්‍රකෝටි ගණනින් වියදම් කරන කාගෙවත් නම් මේ ලයිස්තුවේ දාලා නෑ.
සමාජ ජාලා ඉතා වගකීම් විරහිතව ජනතාව භාවිතා කරන නිසා ඇහිල්ලක් බැලිල්ලක් නෑ කවුරුහරි බොරු ලයිස්තුවක් හදලා දැම්මට පස්සේ ඒක බෙදා හදා ගන්නවා. මේ තත්ත්වය දන්න නිසා මෑත කාලයේදී දූෂණ චෝදනා පිළිබඳ පසුගිය සතියේ බරපතළ ලෙස කතාබහට ලක්වුණු අමාත්‍යවරයෙක් සහ සුප්‍රකට කලාකරුවෙක් එකතුවෙලා මෙම ලයිස්තුව හදලා සමාජ ජාලාවල ට එකතු කළා කියලා නිල නොවන තොරතුරු ලැබිලා තියෙනවා.
ඒ අමාත්‍යවරයාගේ වංචා දූෂණ පිළිබඳව පාර්ලිමේන්තුවේදී එල්ල වෙලා තියෙන සමාජ අවධානය වෙනතකට යොමු කිරීම තමයි මෙම ව්‍යාජ ලයිස්තුවේ බලාපොරොත්තුව. මොකද ඇත්තටම තිලිණි ප්‍රියමාලිට සල්ලි දුන්නු දේශපාලකයන් ව්‍යාපාරිකයන් සහ භික්ෂූන් වහන්සේලා ඉන්නවා. එයාලගේ නම් ලයිස්තුවක් පොලිසිය ගාව කියනවා. තමුන්නාන්සේලාට පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ගෙන් අහන්න පුළුවන් මේ ලයිස්තුවේ ඉන්න අය ඒ ලයිස්තුවෙත් ඉන්නවද කියන කාරණය.
ඉතින් මෙහෙම ලයිස්තුවක් පොලිසියේ තියෙන නිසා ජනතාව ඉන්නේ කුතුහලයෙන්. එතකොට ඒ අවස්ථා පාවිච්චි කරලා සමාජයේ කුතුහලය සැබෑ වංචා දූෂණවලින් වෙනත් පැත්තකට යොමු කිරීමේ යටි අරමුණින් තමයි මෙම ලයිස්තුව ඉදිරිපත් කරලා තියෙන්නේ.
මම අද ලිඛිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නා සමාජ ජාලා වලට මෙම ව්‍යාජ නම් ලයිස්තුව එකතු කල දුරකථන අංක. පොලිසියට ඔවුන් ප්‍රශ්න කිරීම හරහා මෙය මුලින්ම එක් කළේ කවුරුන්ද යන්න පිළිබඳව තොරතුරු සොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඔවුන් නීතිය ඉදිරියට ගේන්න ට ඕනේ.
යටි අරමුණු තියෙන අය සමාජ ජාලා වැරදි අන්දමට භාවිතා කරමින් ජනතාව නොමඟ යවන නිසා සමාජජාල පිළිබඳව යම් නියාමනයක් අවශ්‍යයි කියන එක මේ තුළින් මා ඉගෙන ගත්තා. නමුත් ඉන්න ඇත්ත තොරතුරු ප්‍රකාශ කරන තමන්ගේ ඇත්ත මතය කියන කිසිවෙක් බය වෙන්න අවශ්‍ය නැහැ. සමාජජාලා තුළින් ජනතාව නොමග යවන්න අය පමණයි ඊට බිය විය යුත්තේ.”
