ගොඩකවෙල කෘෂිකර්මය 08.50ටත් වහලා ,රාජ්‍ය සේවකයන් නිදිසුව විඳිද්දී ගොවි ජනතාව මහමග කටු කයි.(වීඩියෝ)

අද (19) දිනයේ ගොඩකවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත පැමිණි ජනතාව යම් නොසන්සුන් තත්ත්වයකට පත්ව තිබේ.ඊට හේතු වී ඇත්තේ ජනතාව එම ස්ථානයට සිය සේවා ඉටු කර ගැනීමට පැමිණෙන විටත් එහි නිලධාරීන් පැමිණ නොමැති වීමයි.

අද දිනයේ මහජනතාව රැස්ව සිටින අවස්ථාවේදී පවා වගකිව යුතු බලධාරීන් වශයෙන් මොවුන් මෙසේ  කටයුතු කරන්නේ නම් අනෙක් දිනයන්හි දී කෙසේ කටයුතු කරන්නේ දැයි සිතා ගත හැක.

මොවුන්ව වැටුපත් ලබා දෙමින් ආයතනයකට පත් කරනු ලබන්නේ ජනතාවට අවශ්‍ය සේවා සැපයීම සඳහා වුවත් අද පවතින තත්ත්වය මත ජනතාව තමන්ට අවශ්‍ය කටයුතු මෙවැනි රාජ්‍ය ආයතන තුළින් සිදු කර ගැනීමට දින ගණනාවක් මුලුල්ලේ මෙසේ රස්තියාදු විය යුතුව තිබේ.

උදෑසන 09ට ආසන්න වන විටත් රාජ්‍ය ආයතනයක් තුළ කටයුතු ආරම්භ නොවෙන රටක් තුළ සංවර්ධනයක් අපේක්ෂා කිරීමෙන් ඵලක් නොමැත.

ජනතාව තුට්ටුදෙකට දමමින් සිය පෞද්ගලික ඕනෑ එපාකම් ඉටුකර ගැනීමෙන් අනතුරුව ඉඩක් ලැබුණහොත් සේවය කිරීමට අද සිටින රාජ්‍ය නිලධාරීන් බහුතරය පුරුදු පුහුණුව ඇත.

නමුත් රටට බත සපයන මෙම රජවරුන්ට සමාන කෙරෙන ගොවි ජනතාව මෙසේ නිකරුනේ රස්තියාදු කිරීමෙන් රටට යහපතක් වේ යැයි සිතිය නොහැක.මෙම සිදුවීම එක් ප්‍රදේශයක සිදු වූවක් පමණක් නොවන අතර මෙවැනි සිදුවීම් අද වන විට ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතන තුළ දක්නට ලැබෙන සුලබ දසුනක් වී හමාරය.

පෙරවරු 09.00 ට පමණ කාර්යාලය වෙත පැමිණෙන නිලධාරීන් යළි 10.30ට පමණ තේ වේලට සූදානම් වේ.තේ වේල සඳහා පැයක පමණ කායක් ගත කරන මොවුන් යළි 12.30 – 01.00 පමණ වන විට දිවා ආහාරය සඳහා සූදානම් වේ.ඊට ද පැය එක හමාරක් පමණ ගෙවන මොවුන් දවසේ වැඩි කාලයක් ගෙවන්නේ නිකරුනේ ය.

මෙම තත්ත්වය බහුතර රාජ්‍ය ආයතන තුළ දක්නට ලැබෙන්නක් වන අතර ඇතැම් කැපවීම් සිදු කරන නිලධාරීන් ද නැතුවාම නොවේ.ඔවුන් ද මෙම කුණු කන්ද තුළ දූෂිත වෙමින් සැඟව යයි.

Exit mobile version