ගොඩකවෙල සංගීතයකදී  පාතාල කල්ලියක් කරලියට-පහර කෑ දෙදෙනකු රෝහලේ-අයකුට අසාධ්‍යයි.

මැයි මස 1 වනදින සුර්ය මංගල්‍යට සමගාමීව  ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ දී දැවැන්ත බක්මහ උළෙලක් සහ එදින රාත්‍රියේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි. එම සංගීත සංදර්ශනය අතරතුර ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලකුට හා කාන්තාවකට දසදෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් අමානුෂික ලෙස පහර දී තිබේ. පහර කෑමෙන් බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයා රත්නපුර දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර කාන්තාව ගොඩකවෙල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

ඔහුන් දෙදෙනා සැමියා හා බිරිඳ බව ගොඩකවෙල පොලිස් ස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඇසින් දුටු සාක්ෂි වලට අනුව මෙම යුවල තවත් කාන්තාවක් සමඟ සංගීතය නරඹා ආපසු ත්‍රීරෝද රථයෙන් ගොඩකවෙල නගරය දෙසට ගමන්කරමින් සිටියදී මෙම අපරාධ කල්ලිය විසින් රථය නවතා රථය පැදවූ 26 හැවිරිදි පල්ලෙබැද්ද ගල්පාය ලිපිනයේ පදිංචි  වතුකාරගේ දමත් තුෂාර රත්නායක යන අයට ත්‍රීරෝද රථය තුළදීම පහර දී තිබේ. ඉන්පසුව රථයෙන් බස්සවා නැවත පහර දෙන අතරතුර කාන්තාවටද පහර දී ඇත. අනෙක් කාන්තාව ත්‍රිරෝද රථයෙන් බැස දිවගොස් අාධාර ඉල්ලා තිබේ.

මෙම කණ්ඩායම පහරදී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් නැවත පැමිණ ඉතා අමානුෂීය ලෙස පහර දී තිබේ.

කෙසේ නමුත් ගොඩකවෙල නගරයේ හා ඒ අවට ගම්වලින් පැමිණි කිසිඳු පුද්ගලයකු කිසිඳු ආරවුලක් ඇති නොකරගෙන ෆ්ලෑෂ් බෑක්  සංගීත කණ්ඩායමේ සංගීත රසය උපරිමයෙන් විඳ තිබීමද විශේෂත්වයකි. මෙසේ පහර දී තිබෙන කණ්ඩායමෙයම් සමහර අයට මහාධිකරණය තුල පවා නඩු තිබෙන බවද වාර්තා වේ. ගොඩකවෙල පිරිස් ඉතාම හොදින් විනීතව සිටි බව පොලිස් ස්ථානාධිපතිවරයාද තහවුරු කරන ලදී.

මෙලෙස පහර දුන් පුද්ගලයන් මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කොට තිබේ. පහරකෑමට ලක්වූ අයගේ වැඩිහිටියන් සඳහන් කරන්නේ පහර දුන් කණ්ඩායම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන මන්ත්‍රීවරියකගේ සහය මත පොලිස් නීතිය ක්‍රියාත්මක නොකෙරෙන බවයි. නමුත් අප මේ පිළිබඳව සොයා බැලීමේදී අපට දැනගැනීමට හැකිවුයේ ගොඩකවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප වාරයක් පහර දුන් පුද්ගලයාගේ නිවසට ගොස් ඇති බවයි.

ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති කේ.එන්.ආර්. විජේසුරිය මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් යොදවා විමර්ශන සිඳු කරනු ලබයි.

Exit mobile version