චීනය යලි ශ්‍රී ලංකාවේ ස්වාමියා වීම හා ලංකාවේ පක්ෂ දේශපාලනයේ අඳ බාල බව සමග බංකොලොත් වීම

.

ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවෙන උණුසුම් වීම් එළියේ කරලියට එන්නේ පලමුව ලංකාව තුලිනි. ඒ චීනයට ලියාදී , පසුව රනිල් වගන්ති වෙනසක් කර 99 බද්දට දුන් පොර්ට් සිටිය නිසාය. ඒ ආශ්‍රිත කටයුතු නිසාය. ලංකාව සේද මාවතට සම්බන්ධ වීමට අයිතිහාසික පිහිටීමේ ඉතිහාසයක් තිබුණද මේ මොහොතේ ලංකාව සේදමාවතේ පොර්ට් සිටිය වෙනුවෙන් පරම්පරා සියයක හිස් ,ඇස්  ,ලේ මස් චීනයට දන්දෙමින් භූ දේශපාලන සෙක්කුවේ කරකැවෙමින් සිටි. පාස්කු ප්‍රහාරය හා පොර්ට් සිටියේ අයිතිය අතර ඇත්තේ ඉතා සුක්ෂම සම්බන්ධයකි. එය වෙන්නට ඉඩ හැර නිහඬව සිටි සිරිසේන අදටත් කරන්නේ චීනයේ පරම කොන්ත්‍රාත්තුව ය. ශ්‍රී ලංකා දේශපාලනයේ මේ වන විට චීනයේ හස්තයට ලක් නොවුණු දේශපාලන කණ්ඩායමක් නැත. අරගලය චීනය විසින් හයිජැක් කර ඇති බව මා ලිව්වේ මීට සති හතරකට හෝ පහකට පෙරය.

ජනතාවගේ අරගලය තුල අසංවිධිත බාවය ආරක්ෂාකර ගෙන ගියේ මුල සිටම චීනය විසිනි. සංවිධිත වුයේ නම් නිශ්චිත ඉල්ලීම්, අරමුණු හා නායකත්ව මණ්ඩල බිහි වෙන්නට ඉඩ තිබුණි. එහෙත් සිදු වුයේ අරගලය තුල නායකයන් විය හැකි යයි සිතෙන සියළු දෙනා පචකර හැරීමේ සුක්ෂම කාර්ය භාරය  පමණි. සමාජ ක්‍රියාකාරීන් නිහඬ කිරීම පමණි.අරගලය අද මන්ද ගාමී වී ජනතා අවධානයෙන් ඉවත්ව ඇත්තේ ඒ නිසාය. අරගලයට අවධානය ලබා දීම වෙනුවෙන් හැසිරෙන තරුණ මාධ්‍යවේදීන් චීනයේ උවමනාව ඉතා හොඳින් ඉටුකරමින් ඉන්නා බව පෙනේ. ඔවුන් ට රටේ සමස්ථ ගැටළුව හා වර්ථමාන ආර්ථික ,සමාජීය, අධ්‍යාපන අර්බුධය ට වඩා වැදගත් වන්නේ කිසිදු බලයක් නැති දේශපාලන මාතෘකාවක් විය නොහැකි රනිල්ය. ලෝකය රනිල්ගේ ආගමනය සතයකට ගණන් ගත්තේ නැත. එහෙත් මේ තරුණ මාධ්‍යවේදීන්ගේ මතවාදය ගොඩ නැගීම තුල චීන හිතවත් රාජපක්ෂලා ගේ සියළු අකටයුතු කම් අමතක කර රාජපක්ෂලා මාතෘකාවෙන් බැහැර කරමින් රනිල් පමණක් මාතෘකාවක් වී තිබේ. රනිල් දේශපාලනයෙන් සමුගෙන යා යුතුය. ඒ ගැන කිසිදු විවාදයක් නැත. එහෙත් රනිල් මාතෘකාවක් වන්නේ චිනයටය. ඒ රනිල් තනතුරක,අගමැතිකමේ සිටින තාක් කල් ලංකාවෙන් චීනයට නින්දගම් ලැබීම අසීරුය. නැවතත් පොර්ට් සිටිය වසර 99 කට සිමා වේදෝයි බියක් චීනයට පවතී. අරගලය බිහි කිරීමට ඇමෙරිකාව ගෙන ගිය දීර්ඝ කාලින ආයෝජනය හා අවසානයේ නැගෙනහිර ටිමෝරය, ඊජිප්තුව  වැනි රටවල ඇමෙරිකානු දේශපාලනයේ උවමනාව සුක්ෂමව ඉෂ්ට කළ ජුලේ චන්ග් තානාපතිනිය ලෙස පත් කර එවීම හා අරගලය බිහි වීම ඊට සමගාමිව සිදු වීම මිට පෙර සටහන් වලින් ලියා ඇත්තෙමි. අරගලයේ අයිතිය හා අරමුණ ඇමෙරිකාවට පවත්වාගෙන යා යුතු නැත. අවශ්‍ය වුයේ ලංකාවේ ආර්ථික කටයුතු චීනයට පවත්වා ගෙන යාමට නොහැකි වතාවරණයක් ලංකාව තුල බිහි කිරීමයි. ඉන්ධන අර්බුධය මැවෙන්නේ ඒ හරහාය. ඒ සඳහා තෙල් නැව් ගනුදෙනු වලදී කොමිස් ගන්නා නිලධාරීන් දේශපාලුවන් 5 දෙනෙකු ගේ ජාතිද්‍රෝහී හම්බ කිරීමද බලපායි. එහෙත් ආණ්ඩුව තෙල් රටවල් මුස්ලිම් කොවිඩ් මල මිනි මතින් තරහ කර ගැනීම හා ඉන්දියාව රුසියාවෙන් ගන්නා තෙල් ලබාගැනීම නිසා උදහසට ලක්වීම යන කරුණු මත නොබැඳී බවෙන් මිදී අමාරුවේ වැටි සිටි.

ලංකාව 2005 සිටම චීන උපක්‍රමයේ උගුලට අසුවී සිටි. 2015 දී පත් වූ සිරිසේන අදටත් චීනයේ අතකොළුවක් ලෙස ප්‍රභලව ලංකා දේශපාලනයේ දෙස් විදෙස් යාන්ත්‍රණය, මාධ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමට දායක වෙමින් සිටි. අරගලය තුලට ප්‍රවිෂ්ට වන පෙරටුගාමී, ජවිපයේ බලවේග එක්කිරීම හා ඔවුන්ගේ ශක්තිය වැඩිකිරීම හා අරගලය අන්තරය දෙසට  ඇදගෙන යාම මෙන්ම අන්තරයේ  තරුණයන්ට හිසේ බැඳීමට දුන් මුද්‍රිත කළු පටි ලබා දීමට කටයුතු කිරීම පවා සිදු වුයේ චීනයේ හස්තය හරහාය. පළමු වටයේ අගමැති ධූර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පක්ෂ නායකයන් එකතු වී ආණ්ඩු සැදීමට සන්ධාන ගත වන්නේ චීනයේ උවමනාව හරහාය. ඊයේ පාර්ලිමේන්තුවේ දී ගෝටා එලවා දැමීමේ සිද්ධිය එවන් සැලසුම් සහගත සිද්ධියකි. අරගලයේ උච්චතම අවස්ථාවල ගෝටා එළවීමට දිනීමට හෝ පරාජය වීමට යෝජනාවක් ගෙන එන එන්නට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කලේ නැත. නොදිනන විශ්වාස භංග ගෙනවිත් කාලය දිනාගෙන ජනතාව රැවටුවා පමණි. කෙසේ නමුත් දැන් චීනය ඉක්මන් වී ඇත. අනුර ඊයේ පාර්ලිමේන්තුවේ තමන්ව සෝදා ගැනීමට ගත් උත්සාහය ජනගත වුයේ විහිළුවක් ලෙසය. ඒ අගමැති කම් ගැනීමේ කතාව දුරදිග ගිය නිසාය. රනිල් ඒ පිටුපස එල්ලෙමින් උපහාසාත්මක වුයේ චීනයට තමන් සමග ඇති ගණුදෙනුව දන්නා නිසාය. අනුරගේ අගමැති කම ගැනීමේ කතාවේ හරය චීනයේ උපක්‍රමයයි.

2019 දී එක්ව තරඟ නොකළ, බොහෝ වැදගත් කරුණු වලදී එක්  නොවූ විපක්ෂය හදිසියේ එක්වී සිටින බව පෙනේ. සාකච්චා පැවැත්වෙන්නේ ආණ්ඩු සැදිමටය. දේශපාලනය එසේ යයි හිත හදාගන්නට අපිට නොහැකිය. ඒ චීනය මේ පිටුපස මේ ක්‍රියාදාමයේ බලවත්ව සිටින බැවිනි. අප හැමදාම කියන්නේ අපට ස්වාධින විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍ය බවය.

දැන් 09 වෙනිදා සියළු දෙනාම පාරට බසිනු ඇත. කමල් ගුණේ අරගල භුමියේ සිට ගම්  නියම ගම්  දක්වා හමුදාව ට උපදෙස් දී ඇත. මේ වන විට උවමනාවෙන් බිහිකළ සිද්දි නිසා ජනතාව හමුදාව සමග ගැටුමට යන්නට මානසික පදනම වැටී තිබේ. රනිල් ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ගැන ප්‍රශ්න කරන කණ්ඩායම ම ජන බලයක් නැති පෙරටුගාමින් පාර්ලිමේන්තුවට ඇතුලත් කිරීමට දෙමල පක්ෂ හරහා සැලසුම් කර තිබේ. ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන්නටය. ඒ සඳහා මතය සැදෙන්නේ සිරිසේන කඳවුරෙනි. සජිත් ඇතුළු විපක්ෂය පාර්ලිමේන්තුව තුල ගෝටා එලවන්නට සටන් පාට කියා ලකුණු දාගනිමින් සිටිති. මේ සියල්ලේ අවසාන ප්‍රථිපලය චීන හිතවාදී කල්ලිය විසින් ආණ්ඩුවක් සැකසීමට මගපාදා ගැනීම විය හැකිය. ආණ්ඩුව ඉවත් විය යුතුය. ඒ ගැන විවාදයක් නැත. රාජපක්ෂලා ඉවත්විය යුතුය. ඒ ගැනද විවාදයක් නැත.රනිල් බහුතරයක් ඇති   අගමැති  කෙනෙක් නොවේ. ඒ ගැනද විවාදයක් නැත. එහෙත් විධායක ක්‍රමයක හා 20 වෙනි සංශෝධනයෙන් ජනාධිපති බලතල වැඩිකළ රටක රනිල්ගේ අගමැති කම යනු බලයක් ඇති තන තුරක් නොව තනතුරකි. ජාතික ලැයිස්තුවෙන් අගමැති පත්වීම අරුමයක් නොවන රටක,සිරිමාවෝ හා රත්නසිරි යන දෙදෙනාම ජාතික ලැයිස්තුවෙන් පත්වෙන විට අද එයට විරුද්ධ වන බොහෝ දෙනෙක් ඒ මුක්කු ආණ්ඩුවල සිටි බව අමතක වුවත් අද ජාතික  ගැටලුව හැටියට චීන හිතවාදී සැමටම ඇත්තේ රනිල් තනතුරක සිටීමය. ඒ අනුව  රනිල්ට හිමිවන  බලයක් නැති  තනතුරේ වපසරිය පවා වටහා නොගනිමින් රනිල් උදහසට ලක් කිරීමේ විවිධ වැඩ සටහන් මාධ්‍ය ,හිරුණිකා හා ජවිපය, යොදාගනිමින් සිදුවන්නේ සැබවින්ම විහිළුවක් ලෙසය. අරගලය ගැන පොර ටෝක් දෙන මාධ්‍යවේදී තරුණයන් එක්වරම තම මාධ්‍ය කාර්ය තුල රනිල් ආරක්ෂක ඇමති ලෙසත් ,පොලිස් ඇමති ලෙසත් වටහාගෙන ටිරාන් හරහා සිදුවන මර්දනය,කමල් ගුනේ හරහා සිදුවන මර්දනය හා සිවිල් අරගලයකට තල්ලු කිරීමේ සැලසුම වසංගමින් සිටිති. මේ පුද්ගලයන් අරගලය තුල ගොඩ නගා ගත් නාමයන් නිසා ඔවුන් කියනා, විචාරය කරනා ඕනෑම දෙයක් ජනතාව ඉහලින් පිළිගැනීමට ලක්වී ඇත. එය මේ මොහොතේ එදා 2019 හිරු දෙරණ හා සමානවම ජනතාව නොමග යැවීමකි. ඒ නොමග යැවීම සිදුවන්නේ චීන උවමනාව මතය. සැබවින්ම සිදුවන්නේ රනිල් රාජපක්ෂලා ශක්තිමත් කිරීමට සාපේක්ෂව ඔවුන්ගේ මාධ්‍ය කාර්ය රාජපක්ෂලා අවධානයෙන් ඉවත් කර ඔවුන්ව ශක්තිමති කිරීම හා සෝදා හැරීමයි. මාධ්‍ය රාජපක්ෂලා සිය අවධානයෙන් වෙනස් කල යුතු නැත. තවමත් රටේ පොදු සතුරා වන්නේ ඔවුන් විසින් බිහි කල යාන්තරණයයි.

අරගලය බිහිකළ මධ්‍යම පන්තිය අරගලයෙන් ඉවත්වූයේ යම් තරමකට රනිල් ආ නිසා විය හැකිය. එහෙත් මධ්යම පන්තිය එයින් ඉවත් කිරීමේ සැලසුම ආවේ පන්ති ගැටලුව ඇති පක්ෂ වලිනි. පන්ති පරතරයක් නැතිව අරගල භුමියේ එකිනෙකා හඳුනා ගැනීම ඔවුන්ගේ දේශපාලන අරමුණු වලට විශාල ගැටළුවක් ව තිබුණි. දැන් අරගලය චීනය දෙස ට යොමු වී තිබේ. 09 වෙනිදා සියලු දෙනාම කොළඹ එන්නට සුදානම් දැයි මම නොදනිමි. එහෙත් ඒ එන පිරිසට ආරක්ෂාව උදෙසා උපදෙස් කිහිපයක් දෙන්නට මට සිතේ. කමල් ගුනේ අරගලයේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයන් ස්ථානගත කර අරගලය සුක්ෂමව අධ්‍යන කර තිබේ. උපන්දිනයට යුධ බිමක අකාරයේ කේක්‌ ගෙඩියක් සැදු ආරක්ෂක ලේකම් කෙතරම් යුධ වාතාවරණයකට ආසා දැයි කොන්වෝයි කොළඹ පාරවල් දිගේ යැවීමෙන් පැහැදිලිය. තනතුරු රැකගන්නට ඉල්ලා අස්නොවෙන රාජපක්ෂ කඳවුර නැවත ප්‍රචණ්ඩත්වය දියත් වුවහොත් හොඳින්ම සුදානම්ය. ඒ අතර තමන් වෙනුවෙනි.මෙතෙක් රට භාරගන්නට,විසඳුම සොයන්නට නොහැකි හා මගහරින ලද පක්ෂ හදිසියේ චීනයේ උපදෙස් මත බලය ගන්නට සුදානම්ය..ඒ ආධාර උපකාර දෙන බවට දී ඇති විශාල පොරොන්දුය. රටේ දේශපාලනයේ සමස්ත වෙනසක් විය යුතු බව පැහැදිලිය. රටේ විදේශ ප්‍රතිපත්තියේ පුර්ණ වෙනසක් විය යුතු බව පැහැදිලිය. එහෙත් …රටේ මිනිසුන්ගේ ජිවිත, දරුවන්ගේ ජිවිත ඒ සඳහා වියදම් කල යුතු නැත. අප ඉන්නේ තාක්ෂණයෙන් අනුන ලෝකයකය. පැරණි ක්‍රම මගින් විප්ලව කල යුතු නැත. ඒ සියළු විප්ලව දියත්වන්නේ තම දේශපාලන පක්ෂ වලට මුදලින් ආධාර කරන විදේශ හාම්  පුතුන් වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවන බව අප වටහා ගත යුතුය. එබැවින් ආරක්ෂක අංශ සමග ගැටුම් ඇති වන ලෙස හැසිරෙන්නට එපා යයි පළමුව මම ඉල්ලමි. දෙවනුව සිවිල් යුද්ධ තුනකින් එනම් 1971.1988-1989 හා තිස් වසරක යුද්ධයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2000 ක පාඩුවක්, විනාශයක් ,රාජ්‍ය දේපල විනාශයන් දරාගෙන ඉන්නා ජාතියකට අද අත්ව ඇති ඉරණම වටහා ගන්න..මේ ඩොලර් මිලියන 2000 යනු අපේ ජාතියේ වත් පොහොසත්කමයි. ඒ වත් පොහොසත්කම තිබුනා නම්..අද පවතින අර්බුධ බොහොමයක් අපට ඇති වන්නේ නැත. එබැවින් රාජ්‍ය දේපල වේවා, කාගේ හෝ දේපල විනාශ කිරීමෙන් වලකින්න යයි ඉල්ලා සිටිමි. මේ සිදුවන සියලු විනාශයන් ගේ බර දැරිය යුත්තේ ජනතාව නිසාය.

 මේ සටහන සම්බන්ධයෙන් අරගලය හා ඊට සම්බන්ධ කණ්ඩායම් අප සමග උරණ වනු ඇත. ලංකාවේ දේශපාලනය වෙනස් විය යුතු බවට දශකයක සිටම අප පෙනී සිටිමු. ඒ සම්පුර්න ක්‍රමයේ වෙනසකටය. ඒ වෙනස අප ලෝකයේ අත් විඳ ඇත. ලංකාවේ දේශපාලුවන්ගේ හිතවත් කම් වලින් අපි තනතුරු ගෙන මුදල් අට්ටි ගසාගෙන නැති නිසා චීනය වේවා ඇමෙරිකාව වේවා,ඔවුන්ගේ අරමුණු  පිල් බෙදී ආරක්ෂා කරන කුමන දේශපාලන පක්ෂයකටවත් අපගේ සම්බන්ධයක් නැත. අපට ඇත්තේ අපේ මව්බිම සමග ,එහි ජනතාව සමග ඇති පවිත්‍ර බැඳීම පමණි.

චීනය ,ඇමෙරිකාව,ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනා අපේ රටේ දරුපරපුරේ අධ්‍යාපනය හෝ අනාගතය ගැන කලබල නොවේ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය. වෙනස්කම් සිදුවිය යුතුව ඇත. එහෙත් ඒ අපට අවශ්‍ය නිසාය. චීනයට ඇමෙරිකාවට අවශ්‍ය නිසා නොවේ. අපි අපේ දේශපාලන ක්‍රමයකට, පක්ෂ ක්‍රමයකට යා යුතුය. අපි ඒ ගමන යන්නට සුදානම් වෙමු. අරගලය යනු එයයි.. අරගලය යනු අපි අපේ රට යහපත් කරගැනීම මිස චීනය පොහොසත් කර කොමිස් ගැනීම හෝ පක්ෂයේ වියදම් පියවා ගැනීම නොවේ. මැදහත් දේශපාලනයක්. මැදහත් විදේශ ප්‍රතිපත්තියක් වෙනුවෙන් අපි පෙනී සිටිමු. උපක්‍රම වලට නොරැවටෙමු. අරගලය අවසන් වන්නේ ඒ සියල්ල නිවැරදි කර සංවර්ධිත රටක් බිහි කිරීමෙන් මිස, ලෝක දේශපාලනයේ මුදලට දුප්පත්කම පවත්වාගෙන යාමේ දේශපාලනය කිරීමෙන් නොවේ.

ටිකිරි සුභාශිනි

Exit mobile version