චීන සමාගම් විසින් ඉදිකරන අධිවේගී මාර්ග පිළිබඳ නිරීක්ෂණයට උපදේශක ආයතනයක්

කැබිනට් මණ්ඩලය විසින් නව කැලණි පාලමේ සිට ආජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හා නඩත්තු කටයුතු  අධීක්ෂණය සඳහා ස්වාධීන ඉංජිනේරුවරයෙකු වශයෙන් උපදේශක ආයතනයක් පත් කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇති බව වාර්තා වේ.

යෝජිත මාර්ගයේ ප්‍රමිතිය හා නියමිත කාලසීමාව තුළ ඉදිකිරීම් කටයුතු සහතික කරගැනීම සඳහා එලෙස උපදේශක ආයතනයක් පත්කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත.

ඒ අනුව මහාමාර්ග අමාත්‍යවරයා විසින් ,විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කර යෝග්‍ය ආයතනයක් තෝරාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේ දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

එසේම ම උපදේශක ආයතනයේ සේවා යෝජක වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කළ යුතු බව ද තීරණය කර ඇති අතර වසර 03ක් අතුළත අධිවේගී මාර්ග ඉදිකිරීමට නියමිතව ඇත.

2021.05.24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත්තුව සැලසුම් කොට ,ඉදිකර ,අරමුදල් සපයා, මෙහෙයුම් සිදුකර පවරා දීමේ පදනම මත (DBFOT) M/s China Harbour Engineering Corporation වෙත ප්‍රදානය කිරීමට අනුමැතිය දී තිබුණි.

Exit mobile version