ජනපති අගමැති සටන

එළඹෙන 20 වන බදාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන නව ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද
විමසීමේදී පොදුජන පෙරමුණේ සහය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය
කර ඇත්තේ පක්ෂ නායකත්වය, සභාපතිවරයා සහ සියලු දිස්ත්‍රික් නායකයන්ගේ දැනුවත්භාවය
මත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

එම තීරණය ගනු ලැබූ හමුවට පොදුජන පෙරමුණේ සියලු දිස්ත්‍රික් නායකයන් සහභාගි වී ඇති
අතර, බහුතර මතය වී ඇත්තේ මේ මොහොතේ රට පත්ව ඇති තත්වය සැළකිල්ලට ගෙන වැඩබලන
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදිය යුතු බවටයි.

සහභාගි වී සිටි මන්ත්‍රීවරුන්ගෙන් කිහිපදෙනෙකු පමණක් පරස්පර මත පළ කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තරගයට ඉදිරිපත් වන බවක් නිල වශයෙන් නිවේදනය කර නෑ.

කෙසේ වෙතත් පක්ෂයක් ලෙස පොදුජන පෙරමුණ අවසන් එකඟතාවකට පැමිණීමෙන් පසු එම තීරණය
එදින නොපැමිණි මන්ත්‍රීවරුන් වෙතද ලිඛිතව සහ වට්ස්ඇප් මගින් යොමුකර තිබෙනවා.

පොදුජන පෙරමුණේ සභාපතිවරයා එදින මෙම තීරණාත්මක හමුව නියෝජනය කර තිබුණේ නැහැ.

එමෙන්ම විසිවනදා පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමට අපේක්ෂකයෙකු ලෙස
ඉදිරිපත්ව ඇති හිටපු අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම
අසනීප තත්වයක් බව පවසමින් එම හමුවට සහභාගි නොවූ බව ද වාර්තාවනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මීට දින දෙකකට පෙර
ප්‍රකාශ කළේ සිය පක්ෂය ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති
රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීමට තීරණය කර ඇති බවයි.

පසුව ඊට ප්‍රතිචාර දැක්වූ එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ
ලේකම්වරයාගේ ප්‍රකාශය පිළිබඳ පැහැදිළි කිරීමක් අවශ්‍ය වන බවයි.

මේ අතර ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත්ව
සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම තරග කිරීමට හේතු පැහැදිළි කර
තිබුණා.

ඔහු සඳහන් කරන්නේ ප්‍රධාන විපක්ෂය සහ අනෙකුත් පක්ෂ එකතු කොට ඉතිහාසයේ පළමු
සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනැගීම අපේක්ෂාව බවයි.

ඉතිහාසය වෙළාගත් වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ අරමුණ පෙරදැරිව ජනාධිපති
ධුරය සඳහා ඉදිරිපත් වීමට තීරණය කළ බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ට්විටර්
පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

මේ වනවිට ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ඡන්ද විමසීමේදි කිරීමට
නියමිත අපේක්ෂකයින් සංඛ්‍යාව 4 ක්.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් එහි නායක
අනුර කුමාර දිසානායක දැනට ඊට තරඟ වදින බව ප්‍රකාශ කර අවසන්.

අනිද්දා නාම යෝජනා කැඳවීමෙන් පසු 20 වන බදාදා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් නව
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට නියමිත අතර මෙරට ඉතිහාසයේ එලෙස ජනාධිපතිවරයෙකු
තෝරාපත් කර ගන්නා දෙවන අවස්ථාව මෙයයි.

මීට පෙර පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනුනේ 1993 වසරේදියි.

ඒ, එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ අභාවයෙන් පසුවයි.

එහෙත් එහිදී ඩී.බී.විජේතුංගගේ නම පමණක් යෝජනා වූ අතර, ඔහු නිතරගයෙන් ජනාධිපතිවරයා
ලෙස තේරී පත්වුණා.

Exit mobile version