2012 අංක 1 දරණ එක්සත් ජාතීන්ගේ රෙගුලාසි මාළාව යටතේ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේදී පුද්ගලයන් 577 දෙනෙකු සහ සංවිධාන 18ක් අසාධු ලේඛනයට ඇතුළත් කර ඇත.
ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ අසාධු ලේඛන ගතව තිබූ මෙම සංවිධාන සහ පුද්ගලයින් අතරින් සමීක්ෂණයන්ට ලක් කර තෝරා ගන්නා ලද සංවිධාන සහ පුද්ගලයින් කිහිපයක් ඉන් ඉවත් කිරීමට පියවර ගත් බවත් එසේ ම තවත් හඳුනාගන්නා ලද සංවිධාන සහ පුද්ගලයින් කිහිපයක් අසාධු ලේඛනය තුළට ඇතුළත් කිරීමට ද පියවර ගත් බවයි.
මේ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතන, නීතිය බලාත්මක කරන ආයතන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා ඉහත පුද්ගලයන් සහ සංවිධාන පසුගිය වසර කිහිපය තුළ ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපයීමේ ක්‍රියාකාරීත්වය අධ්‍යනය කර සාක්‍ෂි පදනම් කරගනිමින් දීර්ඝ කාලීන අධ්‍යයනයකින් පසුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ පවත්වන ලද සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව අසාධු ලේඛනයෙන් ඉවත් කල යුතු සහ ඇතුළත් කල යුතු පුද්ගලයන් හා සංවිධාන පිළිබඳ විශ්ලේෂණය කර නිර්දේශ ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව පුද්ගලයන් 577 දෙනා සහ සංවිධාන 18 අතරින් ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපයීමේ ක්‍රියාකාරීත්වයක් නොපෙන්වන පුද්ගලයන් 316 දෙනෙකු සහ සංවිධාන 06ක් අසාධු ලේඛනයෙන් ඉවත් කිරීමට තීරණය කරන ලදී.
තවද, මෙම කාල සීමාව තුළ ත්‍රස්තවාදයට මුදල් හා ආධාර සැපයීමේ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බවට නවතමයෙන්ම හදුනා ගන්නා ලද පුද්ගලයන් 55 දෙනෙකු සහ සංවිධාන 03ක් ද අසාධු ලේඛනයට ඇතුළත් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ එම නිර්දේශය 2022 ජූනි 29 දින විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා යොමු කිරීමෙන් අනතුරුව පුද්ගලයන් 316 දෙනෙකු සහ සංවිධාන 15ක් 2022 අගෝස්තු මස 01 දින අංක 2291/02 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අසාධු ලේඛනයට ඇතුළත් කර ඇත.
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට අරමුදල් සැපයීමේ යෙදී සිටීම හේතුවෙන් අසාධු ලේඛනගත කර ඇති පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳ නොකඩවා කරනු ලබන නිරීක්‍ෂණයන් සහ අධ්‍යයනයන් වලින් පසු එම පුද්ගලයන් හෝ සංවිධාන අසාධු ලේඛනයෙන් ඉවත් කිරීම හෝ නව පුද්ගලයන් හෝ සංවිධාන අසාධු ලේඛනයට ඇතුළත් කිරීම මේ පිළිබඳව ක්‍රියාකරනු ලබන ආයතන විසින් කාලානූරූපීව සිදුකරනු ලබයි.
අනාගතයේදීද මෙම ආයතන විවිධ පුද්ගලයන් හෝ සංවිධාන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර යම් හෙයකින් එම පුද්ගලයන් හෝ සංවිධාන ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීමේ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වූ බව තහවුරු වුවහොත් ඔවුන්ද අසාධු ලේඛන ගත කිරීමට කටයුතු කරන බව ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් දන්වා සිටිනු ලබයි.
