ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගිවිසුම අත්සන් තැබේ

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා ස්ථාපනය කරන ලද නව සමාගම් සම්බන්ධ ගිවිසුම මීට සුළු මොහොතකට පෙර අත්සන් තබන ලදී.

මෙම ගිවිසුම අත්සන් තබන ලද්දේ භාණ්ඩාගාර ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල්, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම් එක්වය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු අද (06) පස්වරුවේ දී අවසන් කළ බවයි.

ඒ අනුව මේ වන විට සැලසුම් කර ඇත්තේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ පවතින සමස්ථ තෙල් ටැංකි 99න් ටැංකි 61ක් ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නම් නව සමාගම යටතේ සංවර්ධනය කිරීමටයි.

නීතිපතිවරයා විසින් මෙම නව සමාගම සම්බන්ධයෙන් වන ගිවිසුමට අදාළ කෙටුම්පත සඳහා අනුමැතිය ලබා දී ඇති අතර බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඕනෑම අවස්ථාවක ගිවිසුමට අත්සන් තැබීමේ හැකියාව පවතින බවයි.

Exit mobile version