දකුණේ හා බස්නාහිර කුළී මිනීමරුවන්ට ඇමති අණින් දැල එලයි!

බස්නාහිර පළාත සහ දකුණු පළාත තුල සිදුවන මිනීමැරුම් සම්බන්ධයෙන් වහාම දැඩි ක්‍රියාමාර්ග ගන්නයි
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස් ප්‍රධානීන්ට නියෝගකර ඇත.

ඔහු එවැනි නියෝගයක් ලබාදී ඇත්තේ, පොලිස් ප්‍රධානින් කැඳවා ඊයේ (21) සිදුකළ සාකච්ජාවකදීය.

එම සාකච්ජාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී මැදවත්ත, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සහභාගී වී තිබිණ.

මිනීමරුවන් සම්බන්ධයෙන් නිතිය තදින් ක්‍රියාකරන ලෙස එහිදී පොලිස්පතිවරයාට නියෝගකර ඇති අමාත්‍යවරයා, එවැනි මෙහෙයුම්වලදී අනිසි බලපෑම් සිදුකිරීමට කිසිවකුට හෝ ඉඩ නොතබන බව අවධාරණය කර ඇත්තේ, ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලැබී ඇතැයි ද පවසමිනි.

බලපත්‍රයක් නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවි පොලිසියට  බාර ගැනීම සඳහා ජුලි 31 දිනය දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශ කරන ලෙස දැනුම්දී ඇති අමාත්‍යවරයා, ගිනි අවි බාරදීමේ පොදු සමා කාලය අවසන් වීමත් සමඟ පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමඟ නීති විරෝධී ගිනි අවි වැටලීම ආරම්භ කරන්නැයි දැනුම්දී ඇත.

දකුණු පළාතේ හා බස්නාහිර පළාතේ මිනීමැරුම් හා අපරාධ වැඩිවීමට විශේෂයෙන්ම බලපා ඇත්තේ එම පළාත් දෙකෙහි සේවය කරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාවය බව පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දී ඇති අතර එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ එවැනි නිලධාරීන් වහාම ඉවත්කර සුදුසු නිලධාරීන් පත්කරන ලෙසයි.

Exit mobile version