දිවිතුරේ සුමන හිමි නිදොස් කොට නිදහස් කෙරේ.

පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බාලවයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ පවරා තිබූ නඩුවකින් විත්තිකාර දිවිතුරේ සුමන හිමියන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැදිගේ නියෝග කළේය.

එම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ ලිංගික අපයෝජනයට ලක් වූයේ යැයි කියන සිසුවාගෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ රංජිත් හීල්ලගේ නැගූ හරස් ප්‍රශ්නවලදී විත්තිකාර භික්ෂුව තමන්ට එදින එවැනි ලිංගික අතවරයක් සිදු නොකළ බවත් තමා එදින කිරුළපන ප්‍රදේශයේ පිහිටි එම විහාරස්ථානයට නොගිය බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි.

අමතර පන්තියකට යන බව පවසා නිවසින් පිටත් වූ තමා පන්ති නොගොස් මිතුරන් පිරිසක් සමග වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මුහුදු වෙරළට ගිය බවත් මව තමාව සොයා අමතර පන්තියට ගොස් එන අතරතුර අතරමග දී හමු වූ බවත් සැර පරුෂ කාන්තාවක් වග ඇය කරනා තරවටුවලින් බේරීම සදහා පන්සලට ගිය බව ඇයට ප්‍රකාශ කළ බවත් එම සිසුවා විවෘත අධිකරණය හමුවේදී ප්‍රකාශ කර තිබිණි .

සාක්ෂිකාර සිසුවාගේ සාක්ෂිය අනුවම 2009 වසරේදී එවැනි ලිංගික අපයෝජනයක් සිදු නොවූ බවට ඔහු පැවසීම මෙන්ම පොලිස් පරීක්ෂණ වලදී එවැනි සිද්ධියක් සිදු වූ බවට තහවුරු කිරීම සදහා කිසිදු සාක්ෂියක් හෙළිදරව් වී නොමැති වීම මෙන්ම තමා නිවැරදිකරු බවට ආරම්භයේ සිටම විත්තිකාර හිමිනම ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා එම නියෝගය කළේය.

( ලංකා සර )

Exit mobile version