දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට පැතිර යන ප්‍රචාර පිළිබඳව කලබල විය යුතු නැහැ – ආරක්ෂක ලේකම්

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ජනතාව දැනුවත් කරමින් පවසා ඇත්තේ රටේ දේවස්ථාවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රචාර අසත්‍ය බවත් ඒ පිළිබඳව අදාළ බලධාරින් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකෙරුණු තොරතුරක් බවත් ය.

එම නිසා ඒ සම්බන්ධයෙන් කලබල නොවන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කර ඇත්තේ.

ඊයේ පෙරවරුවේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් ජා – ඇළ බෝපිටිය ශාන්ත නිකොලාස් දේවස්ථානයට පැමිණ ඇත්තේ විශේෂ දැනුවත් කිරීමක් සඳහා වන අතර එහි දී ඔවුන් සඳහන් කර ඇත්තේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරු ලැබී ඇති බවයි.

අදාළ දේවස්ථානයේ සේවිකාවක් සඳහන් කර ඇත්තේ එම නිලධාරීන් පැමිණ පියතුමා පිළිබඳ විමසූ බවත් පසුව පියතුමා නොමැති බව පැවසූ විට පියතුමා දැනුවත් කරන ලෙස මෙම තොරතුරු පැවසූ බවත් ය.

කෙසේ වෙතත් මෙම තොරතුර පිළිබඳව අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණයක් හෝ තහවුරු කිරීමක් සිදු කර නොමැති බවත් ඒ පිළිබඳව ජනතාව කලබල විය යුතු නැති බවත් ආරක්ෂක අමාත්‍යංශය විසින් සඳහන් කර ඇත.

Exit mobile version