“නඩත්තු නඩු දවසට මුළු උසාවියම සංවේදියි” – දෙමාපියන්ගේ සහ දරුවන්ගේ වේදනාව.

නඩත්තු නඩු දවසට අපිට උසාවියේ වැඩියෙන්ම දකින්ට ලැබෙන්නේ අම්මා ළඟ ඉඳගෙන තාත්තා දිහා බලාගෙන තාත්තේ කියලා අඬන දරුවෝ.ඒ දරුවා තාත්තාව දකින්නේ නඩු දවසට උසාවියෙදි.ඒ වගේම සැමියාගේ අත්හැර යාම නිසා දරුවන් සමඟ තනිව ඉන්න අනාගත ජීවිතයේ සියලුම සිහින අපේක්ෂාභංගත්වයට පත්වුනු ගැහැණුන්ගේ මුහුණු.එහෙම නැති අවස්ථාත් තියෙනවා.තමන්ව දාලා යන්න එපා කියලා දරුවන් සහ බිරිඳ තමන්ට ඕනෑ කියන සැමියොත් ඉන්නවා.මේ සියලු අවස්ථා ගැන නීතිඥවරියන් මෙන්ම නීතිඥවරුත් ඇතුළු සමස්ත අධිකරණයම සංවේදී වෙනවා.

නඩත්තු ප්‍රතිපාදන තියෙන්නෙ බිරිඳට විතරක් නෙමෙයි ස්වාමි පුරුෂයාටත් පුළුවන් භාර්යාවගෙන් නඩත්තු ඉල්ලන්න.ඒ කියන්නේ ඕනෑම කලත්‍රයකට අධිකරණය ඉදිරියේ නඩත්තු ඉල්ලිය හැකියි.විවාහයෙන් උපන්,පීතෘත්වය පිළිගන්වානම් එහෙම නැත්නම් කුල වද්දාගත් දරුවන් වසර දහ අට වන තුරු නඩත්තු දෙමව්පියන් බැඳී ඉන්නවා ඊට අමතරව තමන්ට තමාව නඩත්තු කර ගත නොහැකි රෝගී දරුවන් සිටිනවා ජීවිතාන්තය දක්වා ඔවුන්ව නඩත්තු කිරීම දෙමවුපියන්ගේ වගකීමක්.වයස අවුරුදු 18 සම්පූර්ණ කලත් තමන්ට තමන්ම නඩත්තු කර ගත නොහැකි දරුවන් සිටීනම් උසස් අධ්‍යාපනය ලබන දරුවන් වැනි අය සිටීනම් ඔවුන්ට පුළුවන් දෙමව්පියන් දෙදෙනාගේම නඩත්තු ඉල්ලා සිටින්න.

පෙර කී ආකාරයට මව ගෙන් සහ පියා ගෙන් යන දෙදෙනා ගෙන් ම නඩත්තු ඉල්ලා සිටීමේ හැකියාව දරුවන්ට තියෙනවා.ඒ වගේම දෙමව්පියන් අහිමි දරුවන්ට තමන්ගේ භාරකරුවෙකු ගෙන් හෝ වෙනත් වගකිය යුතු අය ගෙන් නඩත්තු ඉල්ලා සිටීමේ ප්‍රතිපාදන තියෙනවා.එම දරුවා වෙනුවෙන් අධිකරණය ඉදිරියේ ඉල්ලීම වැඩිහිටියකු හෝ භාරකරුවකු විසින් කළ හැකියි.

නඩත්තු නීතිය අපරාධ නීතිය යටතේත් සිවිල් නීතිය යටතේත් ක්‍රියාත්මක වෙනවා.ඒ වගේම තමාට තමාව නඩත්තු කර ගත නොහැකි ඉහත කී සුදුසුකම් ඇති අයගේ නඩත්තු ඉල්ලීම අධිකරණයක් ඉදිරියේ නිසිලෙස දිවුරුම් ප්‍රකාශ මගින් ගරු අධිකරණයට ඒත්තු යන ආකාරයට විධිමත් ලෙස ඉදිරිපත් කර තිබේ නම් එම අවස්ථාවේදීම අතුරු නියෝගයක් මගින් ගරු අධිකරණය විසින් වග උත්තරකරුට මාසිකව නඩත්තු මුදලක් ගෙවීමට නියම කරනු ලබනවා.

පියා වගඋත්තරකරුවන් අවස්ථාවේදී දරුවන්ගේ සුජාත භාවය පිළිබඳ ඔහු ප්‍රතික්ෂේප කර සිටියේ නම් ඒ සම්බන්ධව DNA වාර්තාවක් කැඳවීමට ගරු අධිකරණය විසින් නියෝග කරනු ලබනවා.ඒ වගේම නඩත්තු ඉල්ලා සිටින කලත්‍රය දිගින් දිගටම අනාචාරයේ යෙදෙන බව ඔප්පු කළ හැකි නම් හෝ දෙදෙනා අන්‍යෝන්‍ය කැමැත්තෙන් වෙන්ව සිටී නම් එම නඩත්තු ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හැකිය.

නඩත්තු ගැන කතා කරනකොට මේක සිංහල රජ කාලෙනුත් ඔබ්බට දිවෙන කතාවක්.අපේ රටේ නඩත්තු සම්බන්ධව ආඥා පනත පනවල තියෙන්නෙත් 1889 ඒකටත් වසර සීයකටත් වැඩි යුරෝපීය රටවල නඩත්තු ඉල්ලන කාන්තාවන් මෙන් නොව අපේ රටේ නඩත්තු ඉල්ලන කාන්තාවන් දෙස බලනකොට මං පෙර කී ලක්ෂණ පේනවා.හුඟක් අය දුක දරිද්‍රතාවය නීතිය පිළිබඳ නොදැනුවත්කම මෙන්ම තම දරුවන්ගේ අධ්‍යාපනය සහ වෙනත් අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලා සිටින ඒ වෙනුවෙන් සටන් කරන මවක් බිරිඳක්.ඇයගේ එම ශක්තියට උපදේශනයක් විය හැකියි උදවු කළ හැකි සමාජ වටපිටාවක් ගොඩනැඟිය යුතුයි.

ඇයට සහ ඇගේ දරුවන්ට සවිබලගැන්වීමක් ලබා දිය යුතුය.මෙවැනි කාන්තාවන්ට සර්ව සම්පූර්ණ අධ්‍යාපනයක් නොලැබීම නිසි ලෙස රැකියා අවස්ථා නොලැබීම සමාජ අභියෝග හමුවේත් තම පවුල තුළින් ඇතිවෙන අභියෝග හමුවේත් නොසැලී නැගී සිටීමට ශක්තිය ලබා දිය යුතුය.කාන්තාව සවිබල ගන්වන්නේනම් ඇයගේ දරුවන්ට එහි ධනාත්මක ප්‍රතිඵල නිසැකවම ලැබෙනු ඇත. ඒ සඳහා ක්‍රියා කළ යුතුව ඇත.

අප ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුය…

(නීතිඥ උදේනි ආටිගලගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි.)

Exit mobile version