නාදුනන මළ සිරුර හඳුනා ගැනීමට ආ පුද්ගලයාගෙන් සල්ලි අරන්

මරදාන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කොළඹ ජාතික රෝහලේ තිබූ මෘත ශරීරයක් කඩිනමින් නිදහස් කරදෙන බව පවසා රුපියල් 130,000ක මුදලක් ලබාගත් පුද්ගලයෙකු වන අතර සැකකරු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදීය.

වාර්තා වන ආකාරයට සැකකරු මානව හිමිකම් සංවිධානයක නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් පොලිස් ස්ථානය තුළදීම මුදල් ලබාගෙන පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

මරදාන බී.සී.සී. පාලම අසළදී පසුගිය 28 වනදා පොලීසිය සොයාගත් නාඳුනන මළ සිරුරක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබුණු අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය පැතූ අතර ඒ අනුව ඔහුගේ සොහොයුරෙකු දේහය භාර ගැනීම සඳහා පැමිණ තිබුණේ මහනුවර සිටයි.

ඔහු මරදාන පොලිසියට පැමිණ සිටින අතරතුරදී මානව හිමිකම් සංවිධානයක නියෝජිතයෙකු ලෙස පෙනී සිටි අයෙක් පැමිණ දේහය කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍යනම් රුපියල් එක් ලක්ෂ තිස් දහසක මුදලක් ලබාදෙන මෙන් ඉල්ලා තිබූ බවත් එම මුදල් රෝහල් සේවකයන්ට හා උසස් පොලිස් නිලධාරීන්ට ලබාදිය යුතු බව අදාළ පුද්ගලයා එහිදී පවසා ඇත.

අනතුරුව මියගිය පුද්ගලයාගේ සොහොයුරාගෙන් සැකකරු මරදාන පොලීසිය තුළදීම රුපියල් 40,000ක මුදලක් ලබාගෙන පිටව ගොස් තිබේ.

ඉතිරි මුදල සැකකරුගේ බැංකු ගිණුමකට යොමුකර ඇති බවද වැඩිදුර විමර්ශනවලදී හෙළිවූ බව වැඩිදුරටත් වාර්තා වේ.

Exit mobile version