නීතිපති, පොලිස්පති හා හමුදාපති අතින් තම මූලික අයිතිවාසිකම් කඩ වූවායි නීතිඥයෝ 11ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කරයි.

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

ජූනි 29 වැනි දින ගාලු කොටුවේ පවුර අසල පැවති සාමකාමී විරෝධතාවයක් බලහත්කාරයෙන් විසුරුවා හැරීමට හමුදා නිලධාරීන් යෙදවීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නීතීඥයින් 11 දෙනෙකු වෙන වෙනම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා. ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රෙලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ දී අදාළ තරගය පැවැත්වෙන අතරතුර මෙම සිදුවීම සිදුව ඇති බවට පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

නීතිඥ මනෝජා ගුණවර්ධන මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර, නීතිඥ නාලනී මනතුංග, චන්දන කෝඩකන්දගේ, ගෝපිකා ලොකුගේ, තුසිත මධුසංඛ, සමිත් තුෂාර ගාල්ලගේ,
එරංග රුවන් හේමන්ත, ජෝතිරත්න ආරච්චි, කුමුදු නානායක්කාර, චන්ද්‍රනාත් නාරංගොඩ, රේණුකා ශාන්තිමාලා සහ කුසුමාවතී පහළ ගමගේ යන නීතිඥවරුන් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යවරයා,
පොලිස්පති, යුද හමුදාපති, නීතිපති යන වගකිවයුතු පිරිස් ය.

අදාළ පෙත්සම් මගින් පෙත්සම් කරුවන් පෙන්වා දී ඇත්තේ , ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සිටියදී කිසිදු බලධාරියෙකු නොමැතිව ගිනි අවි රැගෙන හමුදා නිලධාරීන් ගාලු කොටුවට පැමිණීම, දැඩි නීතිවිරෝධී ක්‍රියාවක් බවත්, පෙත්සම්කරුවන්ගේ, නැරඹීමට පැමිණි සාමාන්‍ය ජනතාවගේ සහ අනෙකුත් විරෝධතාකරුවන්ගේ ජීවිතවලට ද එය අනතුරක් බවයි.

ඒ අනුව අදාළ පෙත්සම මගින් ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ, ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ 11, 12(1), 14(1)(අ), 14(1)(ආ) ව්‍යවස්ථාව සහ 14(1)(ඌ) වගන්ති මගින්
සහතික කර ඇති පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවයි.

Exit mobile version