පතල් ප්‍රශ්න

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට නුසුදුසු අයකු පත් කිරීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් ඊට විරෝධය දක්වා මේ දිනවල පරිසර අමාත්‍යාංශය ආශ්‍රිත ප්‍රදේශයේ පෝස්ටර් අලවා ඇතැයි අනාවරණය වේ.

වාර්තා වන ආකාරයට එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ බර්නාඩ් ප්‍රේම් සිය අස්වීමේ ලිපිය පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට යවා තිබේ.

ඒ අනුව එම ආයතනයේ අධ්‍යක්ෂවරයකු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමේ සූදානමක් පවතින බව කාර්යාංශයේ සේවකයෝ පවසා තිබේ.

මේ අතර, කාර්යාංශයේ නව සභාපති ධුරය සඳහා ආචාර්ය සන්ජය පෙරේරා පත්කර තිබේ. පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ඔහු ඇමැතිවරයාගේ උපදේශකයෙක් ලෙස කටයුතු කර තිබේ.

මෙම කාර්යාංශය මගින් ඛනිජ ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවී තිබෙන වංචා දූෂණ පිළිබඳව සහ කාර්යාංශයේ පුස්තකාලයේ තිබූ ලේඛන අතුරුදන්වීම සම්බන්ධව ද මේ දිනවල පරිසර අමාත්‍යාංශය විසින් පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

Exit mobile version