පාරිභෝගික අධිකාරිය වැඩේට බැහැලා – පෞද්ගලික රෝහල් වලට නඩු!

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත් කරන ලද ගැසට් නිවේදන දෙකක් මගින්   ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සඳහා රු. 1200 ක් ද, පූර්ණ රුධිර ගණන පරීක්ෂණය(FBC) සඳහා රු. 400 ක් ද, කෝවිඩ් PCR පරීක්ෂණය සඳහා රු. 6500 ක් ද සහ කෝවිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සඳහා රුපියල් 2000 ක් වශයෙන් උපරිම මිළක් නියම කර තිබේ.

මහනුවර හා තදාසන්න නගර රැසක පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වලට යන ජනතාවගෙන් හිතූ මිළ ගණන් අය කිරීම පිළිබඳව චෝදනා එල්ල වුවද මහනුවර පාරිභෝගික අධිකාරියේ නිළධාරින් නිද්‍රාශීලිව සිටින බව ජනතාව පවසති .නියාමනයන් තිබුණද ඒවා තුට්ටුවකට මායිම් නොකර කටයුතු කරන මෙම ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථාන වල බහුල වශයෙන්  සේවය කරනු ලබන්නේ රජයේ රෝහල්වල සේවය කරමින් වැඩි පඩි ඉල්ලා මහ මඟ අරගල කරන වෛද්‍යවරුන් වීමද විශේෂත්වයකි .බොහෝ වෛද්‍යවරුන් රජයේ රෝහල්වල රාජකාරි වේලාව තුල පෞද්ගලික රෝහල්වල රෝගීන් බලන බවට චෝදනා එල්ල වූ අවස්ථාවන් බොහෝ ය.

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සහ පූර්ණ රුධිර ගණන පරීක්ෂණය(FBC) නියමිත ගාස්තු ඉක්මවා අය කිරීම හේතුවෙන් , පාරිභෝගික අධිකාරිය, කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින් පවරා තිබූ නඩු සඳහා පසුගිය 23 වන දින ආයතන තුනකට රු. ලක්ෂ 10 බැගින් සහ තවත් ආයතන පහකට රු. ලක්ෂ 5 බැගින් පුද්ගලික රෝහල් සහ රසායනාගාර මධ්‍යස්ථාන 8 කට රුපියල් ලක්ෂ 55 ක දඩ මුදලක් නියම වූ බවද තවත් නඩු 10 ක් පමණ අධිකරණ වල ඉදිරියේදී කැඳවීමට නියමිතව ඇති බව ද පසුගියදා වාර්තා විය.

සරත් සමරනායක

Exit mobile version