ගංජා ඇල්ලූ පොලිසියේ දෙකකගේ වැඩ තහනම්.

කොළඹ – මහනුවර මාර්ගයේ කැලණිය ගුවන් පාලම අසළ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 12 ක තොගයක් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩතහනම් කිරීම පිළිබඳව එම නිලධාරීන් දෙදෙනා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එම සිද්ධියේදී සැකකරුවන් සහ වාහන අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීමේ චෝදනාවට කැලණිය (1) සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබේ.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩතහනම් කර තිබේ.

අදාල වාහනයේ පිටුපස තිබූ ජංගම දුරකථන තොගයක් සහ ගමන් මළු කීපයක් පිළිබඳව නිලධාරියෙක්ට ඇති වූ සැකයක් මත පරීක්‍ෂා කරමින් සිටියදී එහි පැමිණි පුද්ගලයන් දෙදෙනා වාහනය පණ ගන්වාගෙන පලාගොස් ඇති අතර වාහනයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය ද පොලිස් නිලධාරීන් භාරයේ තිබී ඇත.

වාහනයේ පිටුපස විවෘතව තිබියදී අදාල පුද්ගලයන් වාහන පණගන්වා පලායද්දී එහි තිබූ තවත් ගංජා බෑගයක් පාරේ වැටී තිබියදී ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් පොලිසියට භාරදී ඇති අතර වැඩතහනමට ලක්ව සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා පරීක්‍ෂා කරමින් සිටියදී පලාගිය එම වාහනයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 24 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

රියදුරු බපත්‍රය ඔස්සේ පරීක්‍ෂණ කර පලාගිය වාහනය පොලිස් භාරයට ගෙන තිබුණ ද පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ දක්වා අපොහොසත්ව ඇති බව ද වාර්තා වේ.

එම වාහනයේ තිබූ ජංගම දුරකථන අස්ථානගත වීමක් සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කර ඇති බව දැනගන්නට තිබේ. 

ලංකාදීප.

Exit mobile version