බිත්තර බාලගිරි දෝෂයට ජනපති හේතු සොයයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ  වාර්තාවක් එන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

උත්සව සමයට අවශ්‍ය ඉල්ලුමට වඩා බිත්තර ඉල්ලුමක් ඇති වන අතර රට තුළ එම ඉල්ලුමට සරිලන බිත්තර නිෂ්පාදනයක් නොමැති නම් එම හිඟය නැති කිරීමට අවශ්‍ය බිත්තර ආනයනය කළ යුතු බව කැබිනට් මණ්ඩලයේ අදහස වන බව අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පවසා තිබේ. 

අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් කරුණු  දක්වමින්.

“දැන් බිත්තර නිෂ්පාදනය ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය නොහැකි තත්ත්වය තුළ බිත්තරවල හිඟයක් පවතිනවා. ඒ හිඟය තුළ උද්ධමනාත්මක පීඩනයක් ඇතිවෙලා බිත්තරයක මිල වැඩි වෙනවා. ඒ වගේ අවස්ථාවල පවතින ක්‍රමමෝපාය තමයි ඉල්ලුම සහ සැපයුම පියවා ගැනීමට ප්‍රමාණවත්, ප්‍රමාණයක් හෝ ආනයනය කරලා වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න ඕනේ. එක තමයි හැම රටක්ම අනුගමනය කරන ක්‍රියාවලිය. තමන්ගේ රටේ නිෂ්පාදනය ප්‍රමාණවත් නැතිනම් ඒ ප්‍රමාණවත් නැති ප්‍රමාණය සඳහා විශාල ඉල්ලුමක් කුඩා භාණ්ඩ ප්‍රමාණයක් පසුපස විශාල ඉල්ලුමක් ලුහුබැන්ඳොත් එහි මිල ඉහළ යාමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එක කුඩා දරුවෙක් වුණත් දන්න සත්‍යයක්.වෙළෙඳ විෂය භාර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මගින් අවශ්‍ය බිත්තර කුඩා ප්‍රමාණයක් ආනයනය කරලා ඉන්දියාවෙන්. ඒවා වෙළෙඳපොළට නෙමේ, රෝහල්වලට, පාසල්වල දිවා ආහාරය සඳහා, බේකරි කර්මාන්තය සඳහා බෙදා දෙන්න. නමුත් ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබා නොදෙන ඇතැම් බලවේග ක්‍රියාත්මක වෙන බව එතුමා ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා.ඒ පිළිබඳ ජනාධිපතිතුමා නියම කළා අදාළ පාර්ශවයන් පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ලබා දෙන්න කියලා.

බිත්තර අපනයනය කරන රටවල් තියෙනවා ලෝකේ. ඉන්දියාව තමයි ප්‍රධාන බිත්තර අපනයනකරු. ලෝකේ වෙනත් රටවලට යවන එකක් අපේ රටට ගෙන්නන්න බෑ කියලා කවුරුහරි තීරණය කරනවා නම් ඒ තීරණය සඳහා සාධාරණ හේතු දක්වන්න ඕනේ….”

Exit mobile version