දළදා මාලිගාවේ දළදා වහන්සේ වැඩ සිටින කුටියට යටින් විශේෂ කාමරයක් තියෙනවා . “අරමුදල” නමින් හැඳින්වෙන එම කාමරය යකඩ දොරකින් වසා දමා තිබෙන්නේ.
මෙසේ ” අරමුදලේ ” යකඩ දොර අගුළුලා වසා දමා ඇත්තේ දළදා වහන්සේ උදෙසා පූජා කළ පූජා භාණ්ඩ එහි තිබෙන නිසයි.
නමුත් මෙම අරමුදල 1985 කාලය වන විටත් කිසිවකු විසින් හෝ විවෘත කර නැහැ .අවුරුදු සිය ගණනකින්වත් ‘අරමුදල’ විවෘත කර නැති බව දැන ගත්ත එවකට සිටි දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා (1985-2005) එය විවෘත කර බලන්න තීරණය කළා.
නෙරංජන් විජේරත්න මහතාගේ පියා වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහත්තයා (1975-1985) දියවඩන නිලමේ ධුරය දරද්දී අවස්ථා කිහිපයකදීම නෙරංජන් විජේරත්න මහතා වැඩ බලන දියවඩන නිලමේ ධුරය හැටියට හිටියනේ.. ඒ අවස්ථාවලදීත් මෙම ‘අරමුදල’ විවෘත කිරීමේ අදහසක් ඔහු තුළ තිබුණත් නිශ්ශංක විජේරත්න මහතාගෙන් ඊට අවසරය ලැබුණේ.නැහැ.
පසුව දියවඩන නිලමේ ධුරයට පත් වීමෙන් පසු නෙරන්ජන් විජේරත්න මහතා ‘අරමුදල’ නැමැති ගබඩාව විවෘත කළා.. ඒ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ගේද අවසරය මතයි
‘අරමුදලේ’ තැන් තැන්වල විවිධ පූජා භාණ්ඩ තිබුණා.. රන්, රිදී, මුතු මැණික්වලින් කළ ඒවාද ඒ අතර වුණා.. තවත් සෝදිසි කිරීමේදී දියවඩන නිලමේවරයාගේ නෙත ගැටුණේ පුරවා තිබූ රෙදි මලු කිහිපයටයි. ඔහු වහා එම රෙදි මලු විවෘත කරවා බැලුවා. කාගේත් ඇස් උඩ ගියේ ඒ තුළ තිබූ දෑ දැකීමෙනි.
එහි වූ මල්ලක තිබුණේ රජ ඇඳුම්.. රජෙතුමෙකුගේ සම්පූර්ණ ඇඳුම් කට්ටලයම කිසිදු ආරක්ෂාවක් හෝ සැලකිල්ලක් නොමැතිව ඒ මල්ලක ඔබා තිබුණා.. එළියට ගෙන පරීක්ෂා කර බලද්දී එම ඇඳුම් කට්ටලය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ඇඳුම් කට්ටලය බව සටහන් කළ කොළ කැබැල්ලක්ද තිබුණා..
එහි අහුමුළුවල තිබූ තවත් මලු දිග හැර බැලීමේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ලේන්සු, රජතුමා දළදා වහන්සේට පූජා කිරීමට දානය ගෙනා ‘හේමකඳ’ ආදියද එහි තිබුණා . තවත් උරවල රජතුමාගේ මාල, බිසෝවරුන්ගේ මාල, ආදියද වුණා.. තවත් මල්ලක පුරාණ හෙප්පු, රන් රිදී, ආභරණ ආදිය දකින්නට තිබුණා.
මේ සියලු භාණ්ඩ වහා ලේඛන ගත කරවන්න නෙරංජන් විජේරත්න දියවඩන නිලමේවරයා පියවර ගත්තා. මේ සියලු දෑ අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට ඔහු කල්පනා කළා.. මේ සමහර රාජ ඇඳුම් ඒ වන විටත් දිරාපත් වෙමින් පැවතිියා..
තව තවත් සොයා බැලීමේදී මෙවැනිම කෞතුක භාණ්ඩ රැසක් විවිධ කාමරවල තිබී හමුවුණා.. දාන ශාලා ගොඩනැගිල්ලේද එවැනි රාජ වස්ත්‍රාභරණ උරවල බහා තිබුණා.. දළදා මාලිගාව මහනුවර පිහිටවූ තැන් සිට රජවරුන්, වෙනත් රාජකීයන්, විවිධ රාජ්‍ය නායකයන් ආදී පිරිස් දළදා වහන්සේ වෙත පූජා කළ පූජා භාණ්ඩ, විවිධ කාලවලදී පත් වූ දියවඩන නිලමේවරුන් විසින් ආරක්ෂාව සඳහා මෙලෙස මලුවල බහා තබන්නට ඇතැයි විශ්වාස කරනවා.
මේ සියලු රාජ වස්ත්‍රාභරණ හා පූජා භාණ්ඩ හා ඓතිහාසික ලියවිලි එකම ස්ථානයක තැන්පත් කර කෞතුකාගාරයක් නිර්මාණය කිරීමට දියවඩන නිලමේ නෙරන්ජන් විජයරත්න තීරණය කළා
ඒ සඳහා ඔහු තෝරාගත්තේ ඒ වන විට අත් හැර තිබූ ගොඩනැගිල්ලක්. වර්තමානයේ අලුත් විහාරය යනුවෙන් හඳුන්වන මෙහි උඩුමහල් දෙකේ කෞතුකාගාරය නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළා.
මෙම ගොඩනැගිල්ල 1916 සිට 1937 දක්වා දියවඩන නිලමේ ධුරය දැරූ පී.බී. නුගවෙල නිලමේතුමන් විසින් ඉදිකරවන ලද්දක්. ඒ සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ බුරුමයේ බෞද්ධයකු වූ යූ. තාඩැක්. 1927 දී මෙම ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කර තිබෙනවා.
දළදා වහන්සේ වැඩ සිටින මාලිගාවට පිටුපසින් ඉදි කර ඇති මෙම ගොඩනැගිල්ල ගැන 1958දී මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානාහිමියන් සිය ‘සතිපට්ඨාන භාවනා විවේචන සහ තවත් කෘති’ යන ග්‍රන්ථයේ සඳහනක් කර තිබෙනවා.
රේරුකානේ මහානාහිමියන්ගේ ගුරුවරයා වූ බුරුම ජාතික විනයාලංකාර නාහිමිගේ හිතවත් දායකයකු වන යූ. තාඩැක් දළදා මාලිගාවට වන්දනාවට පැමිණි අවස්ථාවේදී මෙවැනි ගොඩනැගිල්ලක් නිර්මාණය කළ යුතු බව දියවඩන නිලමේ පී.බී. නුගවෙලට දන්වා තිබෙනවා. ඒ අනුව 1927 දී මෙම ගොඩනැගිල්ල සදා නිම කිරීම සඳහා එකී බුරුම ජාතිකයා රුපියල් ලක්ෂ විසි පහක පමණ මුදලක් වැය කර තිබූ බවද ලේඛනවල සඳහන් වෙනවා.
මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා ඉන්දියාවෙන් කලා ශිල්පීන් පැමිණ තිබෙනවා.. මෙහි ඇති ගල් කණු ඇතුන් ලවා ඇද්දවූ බව සඳහන් වෙනවා.. 1936 දක්වාම මෙම ගොඩනැගිල්ල ඉදි කළත් එය සම්පූර්ණයෙන්ම නිම කිරීමට සිය නිල කාලය තුළදී පී.බී. නුගවෙල දියවඩන නිලමේවරයාට හැකි වුණේ නැහැ.
බුරුම ජාතික විනයාලංකාර හිමියන්ට අවශ්‍ය වූයේ මෙම ගොඩනැගිල්ල මහනුවර නගරයේ ඇති උසම ගොඩනැගිල්ල ලෙස ඉදි කිරීමටයි. ඒත් ඉංග්‍රීසි ආණ්ඩුව ඊට ඉඩ දුන්නේ නැහැ.
ඉන් පසුව වරින් වර දියවඩන නිලමේවරු පත්වුවත් ඒ කිසිවකු මෙම ගොඩනැගිල්ල කෙරෙහි අවධානය යොමු කළේ නැහැ . ඒ නිසා ගොඩනැගිල්ල කාලයක් තිස්සේ වවුලන්ගේ රජ දහනක් වී තිබුණා.. මේ නිසා මෙහි පළමු මහලේ විහාරයක් නිර්මාණය කිරීමට නෙරංජන් විජේරත්න දියවඩන නිලමේ හා තේවාව භාර උඩුවාවල චන්දානන්ද නාහිමියෝ තීරණය කළා.
තේවාවෙන් පසු දළදා කුටිය වසන නිසා පැමිණෙන බැතිමතුන්ට වන්දනා කිරීමට අලුත් විහාරය නිර්මාණය වුණා. සියමෙන් ලංකාවට උපසම්පදාව ලැබී වසර 240ක් පිරීම නිමිත්තෙන් 1993 දී මෙම විහාරය නිර්මාණය කර අවසන් වුණා.. මෙහි ඇති විශාල බුද්ධ ප්‍රතිමාව ගෙන එන ලද්දේ තායිලන්තයෙන්. කලසූරී මාපලගම විපුලසාර හිමියන්ගේ අධීක්ෂණයෙන් උපසේන ගුණවර්ධන කලාකරුවා එහි සිතුවම් නිර්මාණය කළා.
වැව නිම වූ අලුත්විහාරය 1993 ජනවාරි 1 වැනිදා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් විවෘත කළා..
තවත් දෙයක් තියෙනවා කියන්න.මේ අලුත් විහාරය ගොඩනැගිල්ලේ වැඩ අවසන් කරලා වහළයේ කොත් දෙක සවිකරන්න තිබුණේ.ඒ්ත් වහළයට නගින්න කිසිම කෙනෙක් ඉදිරිපත්වුණේ නැහැ.හැමෝම බයයි වහළයට නගින්න. .අන්තිමට වහළයට නැගල කොත් දෙක තිබ්බෙත් දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතාමයි.
ඉතින් ඉන් පසුව මාලිගාවේ ‘අරමුදල’ ඇතුළු ගබඩා කාමරවල ගෝනිවල ,උරවල බහා තිබියදී හමුවූ රාජ වස්ත්‍රාභරණ ඇතුළු රාජකීය භාණ්ඩ, පූජා භාණ්ඩ සියල්ල තැන්පත් කිරීමට අලුත් විහාරය ඉහළින් ඇති මහල් දෙක සූදානම් කෙරුණා.
විශේෂයෙන් සංස්කෘතික ත්‍රිකෝණයේ යුනෙස්කෝ ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ලීලාලන්ද ප්‍රේමතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, පේරාදෙණියේ සරසවි සිසුන් මෙම කෞතුකාගාර නිර්මාණයේදී විශිෂ්ට කැපවීමක් කළා.. ආචාර්ය රෝලන්ඩ් සිල්වා, ආචාර්ය ශිරාන් දැරණියගල වැනි විශිෂ්ට පුරාවිද්‍යාඥයන් හා සංස්කෘතික ත්‍රිකෝණය, බෞද්ධ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනද මෙහිදී දැක්වූයේ විශේෂ දායකත්වයක්.
‘‘මේක ලෙහෙසි කාර්යයක් වුණේ නැහැ. ගෝනිවල බහා තිබියදී මා සොයාගත් රාජ වස්ත්‍රාභරණ මෙන්ම අනෙක් වස්තු කාගේද, කවුරු පූජා කරපු ඒවාද කියලා ගෝනිවලම ලියලා දාලා තිබුණා. ඒත් ඒවා නිවැරදිද කියලා පුරාවිද්‍යාවෙන් නිරීක්ෂණය කිරීමෙන් පස්සේ නැවත තහවුරු කරගත්තා. ඊට අමතරව උඩරට ගිවිසුම ඇතුළු වැදගත් ලියවිලිවල පිටපත්පවා ලබාගෙන මේ කෞතුකාගාරයේ තැන්පත් කළා. 1998 වෙන කොට සියල්ල අවසන් කර කෞතුකාගාරය විවෘත කරන්න හිටියෙ. ඒ එක්කම එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය මාලිගාවට එල්ලවුණා. පස්සේ ඒ ප්‍රහාරයෙන් පසු ගත් ඡායාරූප හා මාලිගාවේ කැඩුණු කොටස් පවා මේ කෞතුකාගාර දෙකේ තැන්පත් කළා. ඒත් ආරක්ෂාව ගැන හිතලා කෞතුකාගාරය මහජනයාට විවෘත කළේ නෑ. 2003 දී තමයි එය මහජනයාට විවෘත කළේ’’
නෙරන්ජන් විජේරත්න හිටපු දියවඩන නිලමේවරයා කිව්වේ එහෙමයි.
මෙම කෞතුකාගාර 1998 දී විවෘත කිරීමට නියමිතව තිබුණේ මහා බ්‍රිතාන්‍යයේ වත්මන් තුන්වැනි චාල්ස් රජු අතින්. එහෙත් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය නිසා එම විවෘත කිරීම කල් ගියා.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ දළදා මාලිගාව තිබූ ආකාරය දක්වමින් 1765දී ඕලන්ද වාස්තු විද්‍යාඥයකු ඇඳි සිතුවමක්ද මෙම කෞතුකාගාරයේ තියෙනවා.. එසේම පළමුවැනි විමලධර්මසූරිය හා නරේන්ද්‍රසිංහ රජවරුන්ගේ කාලවල දළදා මාලිගාවල බිම් සැලැස්මවල්ද මෙහි දක්නට ලැබෙනවා..
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා වහන්සේට පැන් පූජා කළ කළය, පොළොන්නරු යුගයේ ලීලාවතී රැජිනගේ කහවනුවක්, රාජසිංහ රජු පූජා කළ රිදී පහන, තායි රජු එවූ ශ්‍රී පතුලේ සිතුවමක්, තුන්වැනි ධර්ම සංගායනාවේ මූලිකත්වය දැරූ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ධාතු සහිත කරඬුව, දළදා වහන්සේ ලංකාවට වැඩම කළ දා සිට ඉංග්‍රීසි පාලන කාලය දක්වා ඓතිහාසික වාර්තා, මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන්ගේ ලේඛන ආදී වැදගත් භාණ්ඩ හා ලේඛන රැසක් මෙම කෞතුකාගාරවල තැන්පත් කර තිබෙනවා..
වසර 100කට පසු මාලිගාවේ ‘අරමුදල’ ඇතුළු ගබඩාවල තිබූ ගෝනි හා මලු එදා දියවඩන නිලමේවරයා පරීක්ෂා නොකළා නම් මෙවන් වටිනා කෞතුකාගාරයක් නිර්මාණය වන්නෙ නැහැ.. එසේම එම ඓතිහාසික ඇඳුම් පැලඳුම් උපකරණ විනාශ වී යාමට ඉඩ තිබුණා.
වර්තමානයේ මෙම ගොඩනැගිල්ලේ බිම් මහලේ දාන ශාලාවක්. පළමු මහලේ අලුත් විහාරයය. තුන්වැනි හා සිව්වැනි මහල්වල කෞතුකාගාර .එසේම ‘අරමුදල’ ගබඩාවේද රන් කෞතුකාගාරයක් නිර්මාණය කිරීමට ද නෙරන්ජන් විජේරත්න දියවඩන නිලමේවරයා පියවර ගත්තා.
අරුණ පුවත්පත වාර්තා කරයි.
