මිය යාමට ආසන්න රෝහල් වලට යළි පණ දීම

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන්නේ දිවයින පුරා වැසී තිබෙන හා වැසී යාමට ආසන්න තත්ත්වයේ තිබෙන රෝහල් වෙත කඩිනමින් වෛද්‍යවරුන් අනුයුක්ත කරන ලෙසයි. වාර්තා වන ආකාරයට ඒ ර‌ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ අද (27) පැවති සාකච්ජාවකදී වන අතර මේ වන විට දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී තිබෙන බවත් 100 කට ආසන්න රෝහල් ප්‍රමාණයක් වැසී යාමට ආසන්න තත්වයේ තිබෙන බවත් මෙහිදී අනාවරණය වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ද, එම කමිටුවේ සාමාජිකයන් බවට පත් කරමින් විශේෂ කමිටුවක් පත් කර මෙම රෝහල් සදහා අවශ්‍ය වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම කඩිනමින් සිදු කර රෝගී ප්‍රතිකාර සේවාවන් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා සඳහන් කර තිබේ. වෛද්‍යවරුන් නොමැතිව මේ වන විට වැසී තිබෙන හා වැසී ‍යාමට ආසන්න තත්වයේ ඇති රෝහල් උතුරු පළාතේ දිස්ත්‍රික්ක, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්කවල බව අනාවරණය කර ගෙන තිබේ. වෛද්‍යවරුන් විදේශ ගතවීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැර යාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බවත් එමෙන්ම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්, වෛද්‍යවරුන්ගේ පුහුණුවීම්, සේවා අවශ්‍යතාවය මත වෛද්‍යවරු රෝහල් වෙත අනුයුක්ත කිරීම්, වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ මාරුවීම් පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක්කර තිබේ.

Exit mobile version