සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ මෙරට බහු ආංගික උපායමාර්ග ඔස්සේ ක්ෂය රෝගය පාලනය කිරීම සඳහා සමත්ව ඇති බවත් 2030 වසර වන විට මෙරටින් ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා කැපවී සිටින බවත්ය.
ඔහු මේ පිළිබඳ සඳහන් කර තිබුණේ ක්ෂය රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදීය.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නාගරික ජනතාව අතර යම් යම් පිරිස් ක්ෂය රෝග ගැටලුවට මුහුණපා ඇති බවත් සෑම වර්ෂයකම මෙරටින් ක්ෂය රෝගීන් 8,000ක් පමණ වාර්තාවන බවත්ය.
එමෙන් ම මේ වන විට අවදානම් කණ්ඩායම් වශයෙන් බන්ධනාගාර ගත වූවන්, වතුකර, නාගරික දිළිඳු ජනතාව, අභන්තර හා බාහිර ශ්‍රමිකයින් යන පිරිස් හඳුනාගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දී ඇත.
