මේ වසරේ සැලකිය යුතු ලාදුරු රෝගීන් ප්‍රමාණයක්

ලාදුරු මර්දන ඒකකය පවසන්නේ මේ වසරේ ගත වු මාස කිහිපය තුළ ලාදුරු රෝගීන් 1,300කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බවයි.

වාර්තා වන ආකාරයට ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ රෝගීන් 1,256ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බව එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසා තිබේ.

ඉන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 256ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 138ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 92ක් වශයෙන් දිස්ත්‍රික් කිහිපයකින් ලාදුරු රෝගීන් වාර්තා වී තිබේ‍.

විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා තවදුරටත් පවසා තිබුනේ මේ වන විට වාර්තා වී ඇති ලාදුරු රෝගීන් අතරින් අවුරුදු 14ට අඩු ළමා ලාදුරු රෝගීන් 131 දෙනෙකු ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බවයි.

ඒ අතරින් වැඩි දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 39කි.

ගම්පහ, මඩකලපුව සහ කළුතර ඇතුලු දිස්ත්‍රික්ක වලින් ද ළමා ලාදුරු රෝගීන් වැඩි වශයෙන් හඳුනාගෙන තිබේ.

Exit mobile version