කිරිකැටියෙකු සමග උමගේ දුක් විඳින පවුලක්. උඩරට නිළමෙලා නිදිද? (වීඩියෝ)

කුඩා කල සිට මෙහෙකාරියක බවට පත්කළ දියණියක් අද මවක වී මහමග දුක් විඳින පුවතක් අපට සමාජ මාධ්‍ය තුළින් දකින්නට ලැබිණ.විශේෂය නම් එවකට තරුණියකව සිටි ඇය මාස 05 බිළිඳියකගේ මවක් වී සිටීමයි.

ඇය සහ ඇයගේ සැමියාට මෙසේ මහමග කටුක දිවියක් උරුම වූයේ අලුත උපන් දියණියට දින 16ක් වීමත් සමගය.මේ වන විට දින ගණනාවක් ඔවුන් මහමග හරිහමන් කෑමක් බීමක් නොමැතිව දරුවා නහවා ගැනීමට ජලය බිඳක් නොමැතිව දුක් විඳියි.

සිය බිරිඳ සහ මාස 05ක් වියැති සිඟිත්තිය තනිව මහමග දමා රැකියාවක් සඳහා යාමට නොහැකිව එම සැමියා අසරණව සිටින අතර ඔවුන් යදින්නේ හිසට සෙවනක් පමණකි.

දරුවා මව් කිරෙන් පෝෂණය කරන මවට හරිහමන් අහරක් තිබීම අත්‍යවශ්‍ය දෙයක් බව අප සියල්ලන් දන්නෙමු.නමුත් මේ මවට එවැනි සැපවත් අහරක් නම් නොලැබෙන බව ඇය දුටුවෙකුට කිව හැකි තරමට ඇය කෘෂ වී තිබේ.

අද රටේ තත්ත්වය අනුව සාමාන්‍ය ජනතාව වේලක් කා වේලක් පිරිමසා ගන්නේ ඉතාමත් අපහසුවෙනි.පුංචි එවුන්ට කිරි පිටි හදා දීමට පවා අද අපහසු තත්ත්වයක් උදා වී තිබේ.කිරි පිටි පැකට් එකක් රු.2000 කටත් වඩා වැඩි මුදලක් ගන්නා විට දරුවන් පෝෂණය කිරීමට මෙවැනි දිළිඳු අම්මාවරුන්ට පියවරුන්ට හැකියාවක් ලැබෙන්නේ නැත.එය දරුවාගේ වරදද? දෙමාපියන්ගේ වරදද නැතිනම් රටේ වරදක් ද යන්න තවමත් සිතාගත නොහැක.

මහනුවර යනු රදළවරුන්ගේ උපත ලියු ප්‍රදේශයයි. මහනුවර නිලමේවරුන් කෝටි ගණන් සල්ලි වියදම් කරති. ඒ තමන්ගේ නිලමේ කම රැක ගැනීමටය. නිලමේකම රැක ගනිමින් දෙවියන්ට බුදුන්ට කැපකර තිබෙන දේපල ඔවුන්ගෙන් බහුතරයක් විකුණාගෙන කති. නමුත් මෙවැනි මිනිසුන් වෙනුවෙන් දේවාලයක ඉඩම් කෑල්ලක් ලබා දී, නිවසක් තනා දීමටවත් ඔවුන්ගේ හිත් පිත් උණු නොවන බව නොරහසකි.

රටේ පාලක පන්තිය මෙන්ම ධනපති පන්තිය කා ගත නොහැකිව ආහාරපාන විසි කර දමන සමාජයේ මෙවැනි පුද්ගලයින් ද සිටීම කණගාටුවට කරුණකි.

මොවුන් මෙසේ මහමග ගෙවන්නේ ඉතාමත් කටුක දිවි පෙවතකි.පියා එළිවෙන ජාමය වන තෙක් තම බිරිඳ සහ දරුවා ආරක්ෂා කරමින් නිදි වර්ජිතව සිටින අතර ඔවුන් අවදි වූ පසු පැයක පමණ කාලයක් ඔහු නින්දේ යෙදෙන බව පවසයි.

රටක පාලන ක්‍රමය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් මෙවැනි දිළිඳු පිරිස් රට තුළ සිටීමට හැකියාවක් නොමැත.නමුත් අපේ රටේ ඇත්තන් කති පොති නැත්තන් කඳුළු බොති සම්ප්‍රදායට අනුව නම් මෙවැනි අසරණයින් බිහි වීම පුදුමයට කරුණක් නොවේ.

කෙසේ නමුත් මෙවැනි පවුල්වලට පිහිට වීමට රජයෙන් ඉදිරිපත් වනු අප දැක නැත.නමුත් ඇතැම් සාමාන්‍ය මිනිසුන් ඉදිරිපත් වී මෙවැනි පුන්‍යකර්ම නේකවිද වශයෙන් සිදු කරයි.

මෙම පවුලත් එවැනි පින් ඇති ඇසක ගැටේවි යැයි අප සිතන්නෙමු.

Exit mobile version