ලක්ෂ 40 ක දැව හොරෙන් ප්‍රවාහනය කරද්දී සැකකරුවන් සමඟ මාට්ටු.

බලපත්‍ර නොමැතිව ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා ඉරූ දැව සහ දැව කඳන් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

ඉංගිරිය අඩවි වන නිලධාරී කාර්‍යාලය විසින් ඊයේ (17) පස්වරුවේ හොරණ සහ හඳපාන්ගොඩ යන ප්‍රදේශවල සිදු කල හදිසි මාර්ග මුර සංචාරවලදී ඉරූ තේක්ක දැව තොගයක් සහ කොස් දැව කඳන් තොගයක් බලපත්‍ර නොමැතිව බූම් ට්‍රක් රථයකින් සහ කැන්ටර් වර්ගයේ ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .

බුම් වර්ගයට අයත් ට්‍රක් රථය මාතලේ ප්‍රදේශයේ සිට බෝඹුවල ප්‍රදේශය දක්වා බලපත්‍ර නොමැතිව කොස් දැව කඳන් ප්‍රවාහනය කරමින් සිටියදී හොරණ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 22 ක් පමණ වන බව සඳහන් .

ඉරන ලද තේක්ක දැව තොගය උඩවලව ප්‍රදේශයේ සිට මොරටුව දක්වා බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී හදපාන්ගොඩ ප්‍රදේශීය දී අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 18 ක් පමණ බව සඳහන් .

දැව ව්‍යාපාර කටයුතු සඳහා මෙම දැව මෙලෙස රැගෙන එන්නට ඇති බවට අඩවි වන නිලධාරීන් සැක පළ කරන අතර අදාළ සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .

Exit mobile version