ලිට්‍රෝ ගෑස් පර්යන්තය ජනපති නිරීක්ෂණයට

අද (13) පෙරවරුවේ කෙරවලපිටිය පිහිටි ලිට්‍රෝ ගෑස් පර්යන්තය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

එහි දී පර්යන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරිය වෙත පැමිණි ජනාධිපතිවරයා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැගෙන ඒම සහ ගබඩා ගිරීම දක්වා වන සම්පූර්ණ ක්‍රියාවලිය විමසා බලා ඇත.

ඒ අනුව පර්යන්තය සතුව ටොන් 2,000  බැගින් වූ ගබඩා ටැංකි 04ක් ඇති අතර ගෑස් ටොන් 8,000ක සංචිතයක් දෛනිකව පවත්වාගෙන යනු ලබයි.

ටොන් 30,000ක් වන මාසික ගෑස් සැපයුමක් ලිට්‍රො සමාගම සතුව පවතින අතර ඒ සඳහා මාසික වශයෙන් නෞකා 07කින් ගෑස් රැගෙන ඒම සිදු කරයි.

කෙරවලිපිටිය පර්යන්තය තුළ දී බවුසර් රථ මගින් කර්මාන්තශාලා වෙත ගෑස් බෙදාහැරීමත් සිලින්ඩර් සඳහා ගෑස් පිරවීමත් සිදුකෙරේ.

අලෙවි නියෝජිත ආයතන 42ක් සහ වෙළඳ ආයතන 12,000ක් මගින් රට පුරා ලිට්‍රො ගෑස් බෙදා හැරීම සිදු කරන බවත් , පසුගිය දින කිහිපය තුළ දෛනිකව ගෑස් සිලින්ඩර 70,000 – 80,000ත් අතර ප්‍රමාණයක් රට පුරා බෙරාහැර ඇති බවත් එම සමාගම පවසයි.

කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුළ මේ වන විට පවතින ලිට්‍රො ගෑස් ඉල්ලුම සැපිරීමට හැකියාව ඇති බවට සමාගම අපේක්ෂා කරයි.

එමෙන්ම එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මේ වසර තුළ දී ලිට්‍රො ගෑස් සමාගමට අයත් හම්බන්තොට පර්යන්තයේ මෙහෙයුම් සහ ගෑස් පර්යේෂණ සඳහා ආයතනයක් පිහිටුවීම සිදුකෙරෙන බවයි.

Exit mobile version