ලිලිබට්..හෙවත් එලිසබෙත් අලෙක්සන්ද්‍රා මැරි ..උපත 1926.අප්‍රේල් 21..

දෙවන එලිසබෙත් රැජිණට දෙමාපියන් ආදරයට කීවේ ලිලිබට් කියලා.ඩයනා ගැන සටහනක් ලියලා රැජිණගේ රාජ්‍යත්වයේ වගකීම ගැන සතියකට කලින් බොහොම විවේචනාත්මකව ලියපු මට රැජිණ ගැන සටහනක් නොලියා නිදියන්න බැරි ඇයි ? රැජිණ හෙවත් දෙවන එලිසබෙත් යනු වයස 96 ක් ව තිබියදීත් තම රාජ්‍යත්වයේ වගකීම ඉටු කල ගැහැණියක නිසාය.මා දකින ,තම වගකීම වෙනුවෙන් වසර 70 ක් එක දිගට සීරුවෙන් සිටි එකම ගැහැණිය නිසාය.

රැජිණ රජකම් කලද රට පාලනය කලේ නැත.රට පාලනය කලේ අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවය.පාර්ලිමේන්තුව ආරම්භ කිරීම,රාජ්යාසන කතාව හා වාර අවසන් කිරීම,නිල වශයෙන් පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා අගමැති බවට පත් කිරීම රැජිණගේ කාර්ය විය.බ්‍රිතාන්‍ය අගමැතිවරු 15 දෙනෙකු ට එසේ පත්වීම් දීමට එලිසබෙත් ට හැකි විණි.එයින් තිදෙනෙකුම කාන්තාවන්ය.ඇමෙරිකාවේ ජනාධිපතිවරු 14 දෙනෙකු ඇගේ ධුරකාලයේ හමු වී තිබුණි.ඩොනල්ඩ් ට්‍රම්ප් ආචාර පෙළපාලිය පිළිගන්නා විට රැජිණ පරයා උමතුවෙන් හැසිරීම ජනතාව ගේ හාස්‍යයට ලක් වී තිබුණි.කෙසේ නමුත් ලෝකයේ රටවල් 134 ක සංචාරය කළ ඇය ලෝකයේ වැඩිම රටවල් ගණනක සංචාරය කළ රාජ්‍ය නායකයා විය.ජනතාව මිලියන 70 ක් එලිසබෙත් ව සජීවී ලෙස පිළිගෙන තිබුණි..

ඇය ඉපදෙන විට 1 ලෝක යුද්ධය අවසන්ව තිබුණි.මොටෝ රථය නිපදවී තිබුණි.මෝටර් රථ කාර්මික තනතුර ඇයගේ ඉහලම වෘත්තීය හා අධ්‍යාපන සුදුසු කම විය.දෙවන ලෝක යුද්ධයේදී රියදුරකු හා මෝටර්රථ කාර්මික වරියක ලෙස තම සේවය රටට ලබා දුන් ලිලිබට් ඉතාම කුඩා වයසේදී ප්‍රේමයෙන් වෙලුණාය.වයස 13 ක් වන විට ග්‍රීසි -ජර්මන් සම්භවයක් සහිත එවකට 18 වන වියැති ෆිලිප් සමග ප්‍රේමයෙන් වෙලී හසුන්පත් ලිව්වාය.ඒ ප්‍රේමය පුර්ණ වියැති එලිසබෙත් විවාහයට ගෙන යයි.දරුවන් හතර දෙනෙකුගේ මවක් දක්වාත් පසුගිය වසරේ ෆිලිප් කුමරු මිය යන තුරුම එක්ව දැඩිව ගෙවී ගිය වසර 73 ක විවාහ ජිවිතයක් එලිසබෙත් ආරක්ෂා කළාය.තම සැමියාට තිබු කුමාර කාම චෝදනා හා අනෙකුත් සියල්ල අතරේ එලිසබෙත් කිසිදාක අනියම් ප්‍රේමයන් හෝ තම සැමියා හැර වෙනත් ප්‍රේමයන් සොයා ගිය බව ඉතිහාසය නොකියයි.වගකීම,වගවීම හා ආදරය යන කරුණු වලදී එලිසබෙත් ගැන දැනෙන සම්ප්‍රදායික රාජ්‍යත්වය..

කෙලි දෙලෙන් ගෙවූ ජීවිතයේදී එලිසබෙත් රාජ්‍යත්වයට පත්වන්නේ අපුර්ව ලෙසිනි.කිරුළ හිමි තම සීයා මිය යාමෙන් හා එයින් පුරප්පාඩු වන කිරුල හිමි විය යුතු තම ලොකු තාත්තා තම ඇමෙරිකානු ප්‍රේමය වෙනුවෙන් හැරී කුමරු මෙන්ම රාජ්‍යත්වය අත්හැරීමෙන් එලිසබෙත් ගේ පියාට කිරුල හිමිවෙයි.අකාලයේ මියයන පියා ගේ මරණය එලිසබෙත් ට ආරංචි වන්නේ කෙන්යාවේ සංචාරයක් අතරතුරදීය.ඒ වන විට විවාහ වී සිටි තරුණ එලිසබෙත් කිරුල හිමිකර ගන්නේ එයින් වසරකට පසුය.ඒ වන විට දෙදරු මවක් වන එලිසබෙත් වත්මන් රජු වන තුන් වන චාල්ස් හා ඔහුගේ සොයුරිය ඈන් ඒ වන විටත් ලොවට බිහිකර තිබුණාය.වයස 26 දී කිරුළ පළඳින එලිසබෙත් එතැන් සිට වසර 70 ක් රාජ්‍යත්වයේ සියළු වගකීම් ජීවිතය අවසන් වන තුරු ඉටු කලාය.90 දශකය එලිසබෙත් ට වැඩිම අභියෝගය ගෙනා දශකයයි.දරුවන් තුන් දෙනෙකුම දික්කසාද වීම ,මාලිගයේ ඇති වූ ගින්න මෙන්ම ඩයනාගේ මරණය රජපවුලේ ප්‍රසාදය බින්දුවට දමා තිබුණි.ඩයනාගේ මරණය වෙනුවෙන් ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම හා එලිසබෙත් ට ඇති චෝදනා නිසා රජ පවුලේ ජනප්‍රිය බව නැවත ඇතිකිරීමට ප්‍රචාරණ සමාගමකට පැවරීමට පවා සිදු විය. ඒඅනුව එලිසබෙත් මාර්ගයේ ,රෝහල් වල රෝගීන් බැලීමට පවා යමින්,රැජිණ ලෙස තමාගේ ප්‍රතිරූපය නැවත වඩවා ගැනීමට කටයුතු කලාය.අනෙක් අතින් බ්‍රිතාන්‍ය රාජ්‍ය සම්ප්‍රදාය..

මේ ආකාරයෙන් පසුගිය වසරේ තම 70 රාජ්‍යත්වය සංවත්සරය සමරණ විට රැජින බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම පුද්ගලයා විය.අගේ සැමියා ගේ මරණය පසුගිය වසරේ සටහන් විනි.කොවිඩ් රිතීන් ට අනුව අමුත්තන් 30 ක් සමග තම වසර 73 ක් යුගදිවියට සමුදුන් රැජින දින දහයක ශෝක කාලයකින් තම රාජකාරි වෙත නැවත නැඹුරු වුවාය.සිනා මුසු මුහුණින් රාජකාරියට නැවත පිවිසියද පල්ලියේ තනිව කොණක හිඳගෙන දියවී ගිය දෙනෙත් ලෝකයේ කැමරා වලට රහසක් නොවීය.

ගැහැණියක ලෙස ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලය,ශ්‍රී ලංකාවේ 1972 වනතුරු අද වන තුරුත් නවසීලන්තයේ රාජ්‍ය නායිකාව වූ එලිසබෙත් තම තරුණු විය හා තම ජිවිතයේ සම්පුර්ණ නිදහස තම රටේ වගකීම, වගවීම,වෙනුවෙන් ඉතා වගකීමෙන් කැප කළ බව නොරහසකි.එවැනි කැප කිරීමක් යනු එක්තරා ආකාරයක ජිවීත පුජාවකි.අසීරු,දුෂ්කර අවස්තාවන් හමුවේ නොසැලී සිට නැවත සියල්ල නිවැරදිව ඇති බවට සහතික වන තුරු ඇගේ තිබු ඉවසීම,හා දරාගැනීමේ ශක්තිය ඩයනාට තිබුණා නම්??? .

කෙසේ නමුත් එලිසබෙත් නව ජංගම දුරකථන තාක්ෂනය ඉගෙන ගත්තේ ඇගේ මුණුපුරන්ගෙන් බව කියවේ.ඕනෑම තාක්ෂණ උපකරණ ප්‍රදර්ශයනයකදී එලිසබෙත් ඒ උපකරණ සම්පුර්ණයෙන්ම අධ්‍යනය කළ බවත් ඒවායේ තාක්ෂනය තම මෝටර් රථ කාර්මික දැනුමට ගලපා අදහස් දැක්වූ බවත් කියවේ.තම පළමු විද්‍යුත් මේල් පණිවිඩය 1976 වසරේදී ලියා යැවූ එලිසබෙත් ඉතා උනන්දුවෙන් නව තාක්ෂනය ගැන කටයුතු කළ බවත් ඇගේ කාර්මික දැනුම හා ඒ කෙරෙහි වූ උනන්දුව අවසන් නොවූ බවත් කියවේ.

ලෝකය පුරා සුභසාධන ආයතන 2000 කට දායකත්වය දැක්වූ රැජිණ සතුන් ට ආදරය කල අයෙකි.බල්ලන් හා අශ්වයන් ඒ අතර විය.ඇගේ බලු සුරතලුන් අතර ඩෝගි නම් දෙමුහුන් විශේෂය ඇයගේ උවමනාවට ලෝකයට දායාද විය.අශ්වයන් පැදීම ,අශ්වයන් ගේ අයිතිකාරියක වීමට අමතරව අශ්ව රේස් වලදී ඔට්ටු ඇල්ලීම ඇගේ විනෝදාංශ විය.අශ්ව රේස් වලින් පමණක් පවුම් මිලියන 18 ක් පමණ එලිසබෙත් ජයග්‍රහනය කර ඇත.

දේශපාලනික ව වින්සන්ට් චර්චිල් වැනි චරිත වල සිට බොරිස් ජොන්සන් දක්වා අගමැති වරුන් 15 දෙනෙකු සමග වැඩ කළ එලිසබෙත් ලෝකයේ යුග ගණනක් දශක දහයක් හෙවත් ශතවර්ෂයකට ආසන්න කාලයක් අත්දකිමින් ,දශක 7 ක් ඉහවහා ගිය ජනප්‍රියත්වයක් හා බලයක් අත් විඳි ලෝකයේ එකම හා ප්‍රභලම ගැහැණිය ලෙස මම ඇයව නිර්වචනය කරමි.දරුවන්ගේ නොපනත්කම් වලදී ඍජු වූ ඇය තම මව් බිමට එරෙහිවන තම ආදරණීයයන් ගැන දැඩි තීන්දු ගැනීමට බ්‍රිතාන්‍ය මානසිකත්වය තුළ මැළි නොවුවාය.කෙසේ නමුත් රජ පවුල මෙගාන් වැනි අප්‍රිකානු සම්භවයකට විවෘත වීමක්,දික්කසාද වූ ගැහැණියකට නැවත විවාහය විවෘත වීමක් වැනි දැඩි කතෝලික ප්‍රතිපත්තියෙන් බැහැර වීමත් එලිසබෙත් ගේ ජිවිත කාලයේ සිදු විය.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය තාක්ෂණයෙන් පිරි,නවීන හා ලොව බලවත් කාර්මික රටක් බවට අත් විඳින්නේ එලිසබෙත්ය.දෙවන ලෝක යුද්ධයෙන් රට බේරාගන්නා චර්චිල් ගේ සිට බ්රෙක්සීට් බොරිස් දක්වාම අත් විඳින්නේ එලිසබෙත්ය.බලවත් ජාතියක ගෞරවයට හා සාර්ථකත්වයට දිනපතා අත්සන තැබූ ,සමාජ වාදීන්ට හා ඉතිහාසය,සංස්කෘතිය හෝ වෙනත් ඕනෑම හරයකට වටිනාකමක් දිය නොහැකි,තමන් ගැනම හීනමානයෙන් පෙලෙන බොහෝ පුහු වීරයන්ට එලිසබෙත් නාකිච්චි ,ආච්චි,හෝ වෙනත් කිසියම් හැඳින්වීමක් වුවද..මට නම් එලිසබෙත් මිය යන තුරු තම වගකීම් අකුරටම ඉටු කළ මේ සහශ්‍රයේ ශක්තිමත් ම ගැහැණියයි.ඇගේ ජීවිතය සොයා ඇවිද යන්න..ඔබටත් එය වැටහේවි.

බ්‍රිතාන්‍ය විසින් අපගේ සම්පත් පැහැර ගැනීම හා එලිසබෙත් රැජිණ ගේ චරිත ලක්ෂණ අතර වෙනස වටහා ගැනීමට බොහෝ දෙනෙකුට නොහැකි වනු ඇත.අපේ සම්පත් බ්‍රිතාන්‍යයන් පමණක් නොව පක්ෂ විපක්ෂ දේශපාලකයන් මේ මොහොතේත් පැහැර ගනිමින් සිටින නිසා.වසර 74 කට ඉහතදී අපට සාර්ථක ආර්ථිකයක් ඉතිරිකර ගිය බ්‍රිතාන්‍යයන්ට වෛර නොකර ,ජාතියක් ලෙස දැනට වසර 74 ක් තිස්සේ වන සොරකම වලක්වා ගැනීමට හැකිනම්..රැජිණ අත් විඳි එංගලන්තය වැනි රටක් අපට බිහි කල හැකි බව වටහා ගැනීම වටී. අනෙක් අතින් හිඟන්නන් ධනවතුන්ට වෛර කරන නිසා හා ඔවුන්ගේ ධනය ධනවතුන් පැහැර ගත් බවට නිතර ආඩපාලි කියන මානසිකත්වයෙන් මිදී..ශක්තිමත්ව අපෙන් පැහැර ගත්තක් වේනම් ආපසු ලබා ගැනීමට කටයුතු කල යුතුය.එසේ වීම‍ට නම් පළමුව සමාජ වෛරය යන්න තම තමන්ගේ සිත්වල වසර සියයකින් වත් උගුලවා දැමීමට හැකි විය යුතුය.තමන් ශක්තිමත් නම්..අනෙකාට අපව අපහරණය කළ නොහැකිය.

උපුටාගැනීම :- ටිකිරි සුභාෂනී

Exit mobile version