ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට යෙදී ඇත.

ඔක්තෝම්බර් 10 වන දින වන අද දිනට ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදී ඇත.

මෙම වසරේ මානසික සෞඛ්‍ය දිනයේ තේමාව වී ඇත්තේ “සියලුදෙනාගේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම ගෝලීය ප්‍රමුඛතාවය බවට පත්කරමු.”යන්නයි.

ඒ සඳහා වන විශේෂ වැඩසටහනක් අද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ  ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර අද දිනය නිමිති කොටගනිමින් ඊයේ (09) දිනයේ දී ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් පාපැදි සවාරියක් සංවිධානය කර තිබුණි.

පුද්ගලයෙකුගේ ශාරීරික සෞඛ්‍ය පැවැත්ම මෙන්ම මානසික සෞඛ්‍ය ද පවත්වාගෙන පුද්ගලයෙකුගේ ජීවන පැවැත්මට අතිශය වැදගත් සාධකයක් බව ලෝක මානසික සෞඛ්‍ය දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය නර්මදා ගුණතිලක මහත්මිය ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම වෛද්‍ය නර්මදා ගුණතිලක මහත්මිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ යම්කිසි පුද්ගලයෙකු මානසික ගැටලුවකින් පීඩාවට පත්ව සිටී නම් 1926 දුරකථන අංකය අමතා ඉන් මිදීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියා පවතින බවයි.

රාවණා සටහන.

විශේෂයෙන් පසුගියදා අප සියල්ල කම්පා කරමින් සරසවි සිසුන් කිහිප දෙනෙකුම සියදිවි නසා ගැනීම සඳහා යොමුව තිබුණි.එහි මෑතකදීම අපට අසන්නට දකින්නට ලැබුණු පුවතක් වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් මහවැලි ගඟට සිය ජීවිතය බිළිදුන් පුවතයි.

ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කිරීමේ දී අනාවරණය වී ඇත්තේ එම සිසුවාට ඇති වූ මානසික පීඩාවක් හේතුවෙන් ඔහු තම ජීවිතය නැති කරගැනීමට තීරණය කළ බවයි.

කෙසේ නමුත් රටේ අනාගතය භාර ගැනීමට සිටින මෙම බුද්ධිමත් පරපුර මෙසේ විනාශ වී යාම රටේ අනාගතයට නම් එතරම් සුබදායක නොවනු ඇති බව වටහා ගත යුතුම කරුණකි.

විශ්ව විද්‍යාල ආශ්‍රයේ සිදුවන විවිධ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ සොයා බලා එවැනි ගැටලු පවතින දරුවන් පිළිබඳ විමසා බලා ඔවුන්ගේ මනසට යම් හෝ සහනයක් ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකියාව ඇත්නම් තවදුරටත් මෙවැනි අවාසනාවන්ත ඉරණම් කිසිවෙකුටත් අත් නොවිය හැක.

විශ්ව විද්‍යාල වල පමණක් නොව පාසල් පද්ධතිය තුළ මෙන්ම අපගේ රටේ සමාජය තුළ ද මෙවැනි ගැටලුවලට මුහුණ දුන් පිරිස් ඕනෑතරම් හමුවනු ඇත.

ලෝක මානසික සෞඛ්‍ය දිනය වන අද දිනයේ  දී අප මූලික වශයෙන් සිතට ගත යුතු කරුණක් වන්නේ සමාජයේ පීඩා විඳින ගැටලුකාරී යම් අපේ සමීපතමයෙක් වේ නම් ඔහු හෝ ඇය වෙනුවෙන් කිරීමට යමක් නොමැති වුවත් ඔහුගේ හෝ ඇයගේ ගැටලුවට සවන් දීමට කටයුතු කිරීම තුළින් ජීවිතයක් බේරා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇති බවයි.

අනෙකාට සවන් දෙමු, මනස නිරවුල් කර ගැනීමට අනෙකාට පිහිට වෙමු, සැවොම එක් අයෙක් සේ සිතමු, එකිනෙකා රැක ගැනීමට කටයුතු කරමු.

Exit mobile version