විදුලි උත්පාදනය කිරීමේදී ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ ගල්අගුරු, ජලවිදුලිය, ඉන්ධන සහ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයන්ගෙන් කුමකටද යන්න පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කරගත යුතු යැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
වන සංරක්ෂණ කලාප වල කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණි.
රටතුලත්, පාර්ලිමේන්තුව තුලත්, ආණ්ඩුවතුලත් මේ සඳහා සාකච්ඡා කරමින් ප්‍රමුඛතා හදුනා ගතයුතු බවද අමාත්‍යතුමිය පැවසීය.
වන සංරක්ෂණ කලාප වල කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදිකිරීම සම්බන්ධව පැනනැගී ඇති ගැටළු පිළිබඳව 2023.06.26 දින අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී අමාත්‍යතුමිය එසේ පැවසීය.
ජාතික විදුලි පද්ධතියට කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර මගින් විදුලිය ලබාදීමේ වැදගත්කම පිළිබඳව එහිදි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කරුණු දැක්වීය.
පරිසර හිතකාමී, අඩු වියදම් මෙන්ම දේශිය ව්‍යවසායකයින් දිරි ගන්වමින් ව්‍යාපෘති කෙරේ අවධානය යොමු කිරීම ඵලදායී බවයි අමාත්‍යවරුන් එහිදී පවසා සිටියේ.
කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමේදී විවිධ තාක්ෂණික ගැටළු මතුවන හෙයින් ඒ හා සම්බන්ධව විෂයභාර අමාත්‍යංශ ඒකාබද්ධව සාකච්ඡා කලයුතු යැයිද එහිදී අමාත්‍යතුමිය පැවසීය.
ඒ අනුව විදුලිබල, පරිසර, වනජීවී, වාරිමාර්ග යන අමාත්‍යංශ ඒකාබද්ධව කටයුතු කිරිමේ අවශ්‍යතාවය ද අමාත්‍යතුමිය පෙන්වා දෙන ලදි.
