වාහන ආනයනය පිළිබඳ ප්‍රකාශයක්.

වර්තමානයේ රථ වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

රුපියල යළි අවප්‍රමාණය වීම ඉල්ලුම සැපයුම මත ඇතිවූ සාමාන්‍ය තත්ත්වයක් බවට ඔහු පෙන්වා දෙයි.

“මේ දවස් තුළ ඩොලර් මිලියන 75ක් 80ක් විතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඛනිජ තෙල් එකවර මිලදී ගන්න අවශ්‍ය වුණා. ඔවුන් වෙළෙඳපොළෙන් මහ බැංකුවෙන් ගත්තා. ඒ අනුව ඩොලර් එක පොඩ්ඩක් ඉහළ යන ප්‍රවණතාවයක් ඇති වුණා. අපේ රටේ සමහරුන් ඉන්නවා ඩොලර්වල ආයෝජනය කරන අය. ඔවුනුත් ඩොලර් මිලදී ගන්න පටන්ගත්තා. මෙන්න මේ දෙකේම බලපෑම තමයි රුපියල් 320 පැනලා ඩොලරයේ අගය ගියේ. අපි ආයෙත් දැක්කා එය ඊයේ යළි රුපියල් 306 මට්ටමට ආවා. මේක අසාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. ඉල්ලුම සැපයුම මත ඇතිවන සාමාන්‍ය තත්ත්වයක්.”

වාහන ආනයන සීමා සම්බන්ධයෙන් ඒකට අවසර දෙනවද නැද්ද? යන පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ,

“අවශ්‍ය තෙල් සඳහා මුදල් වියදම් කරාම ඩොලර් මිලියන 75ක් 80ක් ගියාමත් අපේ ඩොලර් එකේ අගයට මේක බලපානවා. කෙටියෙන්ම කිව්වොත් මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි.” 

Exit mobile version