ශ්‍රී ලංකාවේ නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය (International Democratic Union) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් එම සංගමය සදහන් කරන්නේ, ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ වැරදි කළමනාකරණය සහ රාජපක්ෂ පවුලේ දූෂණය රට කඩා වැටෙන තත්ත්වයකට ගෙන ගොස් ඇති බවය.
රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වන්නේ රට මුහුණ දුන් අභියෝගාත්මකම දේශපාලන හා ආර්ථික තත්ත්වය තුළ බවත්, සය වතාවක් අගමැතිවරයකු ලෙස වික්‍රමසිංහ යහපාලනය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය හා සහයෝගය ලබා ගනිමින් දේශපාලන අර්බුද විසඳා ගත හැකි බව ඔප්පු කර ඇතැයි ද එම සංගමය සදහන් කර තිබේ.
ශ්‍රී ලංකාව තුල පවතින අර්බුදයෙන් මුදා ගැනීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) මූල්‍ය ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට සහාය දෙන ලෙස සියලුම ජාත්‍යන්තර මිතුරන්ගෙන් සහ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවද ඔවුන් වැඩි දුරටත් සදහන් කර තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකික ජනතාවද ඔහු ගැන දැඩි විශ්වාසයක් තබාගෙන තිබුනත් පසුගියදා ගාලු මුවදොර අරගලයේ දී සිටි නිරායුධ වැසියන්ට පහර දීමත් සමග මහජනතාව නව ජනාධිපති කෙරෙහි අප්‍රසාධයක් ඇති කරගෙන තිබේ.
එබැවින් ජනාධිපති වික්‍රමසිංහ මහතා කල යුත්තේ සියලුම දේ නීත්‍යානුකූල මාර්ගවලින් කරවීම පමණි.එසේ නොමැතිව දිගින් දිගටම ඒ ආකාරයෙන් කටයුතු කලහොත් රටේ ලේ වැගිරීමක් සිදුවිය හැකිය. ජනතාවගෙන් බහුතරයක් ඉල්ලන්නේ සාමකාමී මෙන්ම සියලුම දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කිරීමකි.
