අද (09) ශ්‍රී ලංකාවට කිසි සේත්ම සාමකාමී දිනයක් නොවුනි. ආර්ථික ප්‍රශ්න හේතුවෙන් විශාල ජනතාවක් පීඩාවට පත්ව සිටියදී රට පුරා ගෑස් පෝලිම්, ඉංධන පෝලිම්, පොහොර ප්‍රශ්න, අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අධික ලෙස ඉහල යාම ඇතුළු දහසක් ප්‍රශ්න වලින් ශ්‍රී ලාංකිකයන් පීඩා විදිති.
ඒ අතර මෙරට ජනතාව රාජපක්ෂවරුන් නැමති මෙරට පාලක පන්තියට ඉවත් වන ලෙස දැඩි බලපෑම් එල්ලකරමින්, සාමකාමී උද්ඝෝෂණ පැවැත්විණි. ඒවායේ ප්‍රමාණය දහස් ගනනක් විය හැකිය. ඒ අතර රජයට සම්බන්ධ සමහර පාර්ශ්වයන් විසින් එම උද්ඝෝෂණ වැලැක්වීම සදහා විවිධ උපක්‍රම භාවිතා කල නමුත් ඒවා සියල්ලම අසාර්ථක විය. ඒ අතර මෙහි ප්‍රධාන ස්තානය අරගෙන තිබෙන්නේ තරුණ තරුණියන් වන අතර ඔවුන් දිගින් දිගටම අරගලයේ නිරත වෙමින් සිටියහ. ඔවුන් අලුතින්ම ගම් කිහිපයක් නම් කිරීමටද කටයුතු කළහ. ඒවා නම් ගෝඨා ගෝ ගම, මයිනා ගෝ ගම, හොරු ගෝ ගම මෙන්ම බට හන්දිය නමින් හන්දියක්ද නම් කළහ.
මේ කාලය තුල වරින් වර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ තමන් ඉවත් වන බවයි. එසේ ඉවත්වීමට තීරණය කර තිබුනේ අද (09) වන අතර ඔහුගේ ඉවත්වීම වැළැක්වීම සදහා ලංකාව පුරා විසිරි සිටින පොදු ජන පෙරමුණට අයත් මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ සාමාජිකයන් රැගත් බස් රථ 50 කට ආසන්න ප්‍රමාණයක් අරලියගහ මන්දිරයට ගෙන්වා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් නොවන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් පැවැත්විණි. එහිදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පැමිණි පුද්ගලයන් ප්‍රචණ්ඩ වෙමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබු “ මයිනා ගෝ ගම” වෙත් දැවැන්ත ම්ලේච්ච් ප්‍රහාරයක් එල්ල කරමින් එහි තිබු අට්ටාල කඩ දමමින් ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරන ලදී. එහි සිටි යෞවනයන්ටද පහර දෙන ලදී.
ඉන් අනතුරුව රජයට සම්බන්ධ එම ම්ලේච්ඡ කණ්ඩායම “ ගෝඨා ගෝ ගම” වෙත පැමිණියහ. පොලිස් මාර්ග බාධක වලින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් පලව හැරීමට පොලිසියට හැකියාව තිබුනත් පොලිසිය එය වැළැක්වීමට කටයුතු නොකළ බව පැහැදිලිවම දක්නට හැකි විය. මීට පෙර අවස්ථාවල සාමකාමී උද්ඝෝෂණ වලට පවා පහර දුන් පොලිසිය එම මැරයන්ට පලවා හරිම වෙනුවට එම ස්ථානයට ගොස් විනාශය සිදු කිරීමට ඉඩ සලසන ලදී. එසේ කිරීමට හැකිවන ලෙස උපක්‍රමශීලි ලෙස කටයුතු කල බවද පැහැදිලිය. එහි සාමකාමී තරුණයන්ට පහර දීමට එම ම්ලේච්ච මිනිසුන් කටයුතු කල අතර මෙම ප්‍රහාරයෙන් 140 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. එම ස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයාට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාද මුජිබර් රහුමාන් මහතාද පහරකෑමකට ලක් විය.
එම ප්‍රහාරයත් සමගම හතර වටින්ම ජනතාව “ ගෝඨා ගෝ ගමට “ පැමිණි අතර රජයට සම්බන්ධ මැරයන් සොයා යමින් පහර දීමට පටන් ගන්නා ලදී. ඒ අතර සම්ස්තා ලංකාවම ප්‍රචන්ඩ වුයේ රජයට විරුද්දවයි. සවස් වන විට නගරයක් නගරයක් පාසා උද්ඝෝෂණ පැවති අතර කොළඹට පැමිණි බස් රථ සහ ජනතාව සොයා සොයා පහරදෙන්නට පටන් ගත්තේය.
එම කටයුතු එසේ සිදුවෙද්දී ප්‍රතමව බස්නාහිර පළාතටත්, දෙවෙනුව සමස්ත ලංකාවටම ඇදිරිනීතිය පැනවීමට රජය කටයුතු කරන ලදී. ඒ අතර විවිද නිවේදන නිකුත් කරමින් රාජ්‍ය සේවකයන් හෙට අඛණ්ඩව වඩා වර්ජනයක නිරතවන බවද, අද රාත්‍රී 12.00 න් පසු දින කිහිපයක් දක්වා විදුලියද බලයද අහිමි කිරීමට නියමිතව තිබේ.
ඒ අතර රජයට සම්බන්ධ මොරටුව නගරාධිපති සමන් ලාල්ගේ, කුරුනාගල නගරාධිපති තුසාර සංජීව, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටි, ශාන්ත බණ්ඩාර, ගාමිණි ලොකුගේ රමේෂ් පතිරණ ප්‍රශ්න රණතුංග, නිමල් ලාන්සා, කෙහෙළිය රඹුක්වැල්ල, විමල් වීරවංශ, නාලක ගොඩ හේවා යන මහත්වරුන්ගේ මෙනම් තවත් වාර්තා නොවුණු විශාල ප්‍රමාණයකගේ නිවා ගිනි තබා තිබේ. එසේම පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ පැල්මඩුල්ලේ පිහිටි නිවසට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අද රාත්‍රී 09.00 පමණ විට අග්‍රාමාත්‍යවරයාගේ ගමේ පිහිටි පාරම්පරික නිවසද ගිනි තබා තිබේ.
ඇදිරිනීතිය ශත පහකටවත් ගණන් නොගත් ජනතාව පාලනය කිරීමට නොහැකි වන ලෙස රජය කටයුතු කල බැවින් මේ තත්වය මෙසේ සිදු විය . එසේම උද්ඝෝෂකයන්ට වෙඩි තබා පලා ගිය බව කියවෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද ඇතුළු අද උදැසන සිට මේ වන විට 5 ස් දෙනෙකු පමණ මිය ගොස් තිබෙන බවද වාර්තා වේ. මේ වන විටත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල විවිද සිදුවීම් වාර්තා වෙමින් තිබේ. එසේම කඩා බිද දැමු අරගල භුමි දෙක නැවතත් ස්ථාපනය කර තිබේ.
