ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ජන බලවේගයට කුණු බිත්තර සංග්‍රහයක්

ආණමඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කරගැනීම සඳහා ඊයේ (24) පැවති ඡන්ද විමසීමෙන් යළි එහි බලය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කණ්ඩායම සමත් වී තිබෙන අතර ඡන්දයෙන් අනතුරු ව ජයග්‍රාහී කණ්ඩායම ඡන්දයට ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට පහරදීමට උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.

ආණමඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ ඉදිරි වසර 03 සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ (24) පැවැත්වුණේ, ආණමඩුව විවිධ සේවා සමුපකාර ශාලාවේ දී වන අතර විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ පැවති මෙම ඡන්ද විමසීම සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ සිදුව තිබේ.

ඡන්ද විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායමක්, ජාතික ජන බලවේගයේ නියෝජිතයන් පිරිසක්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් හා සමගි ජන බලවේගයේ නියෝජිතයන් පිරිසක් ඉදිරිපත් වූ අතර, එහි දී නැවත වරක් සිය බලය තහවුරු කර ගැනීමට වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගත් පොදුජන පෙරමුණු කණ්ඩායම සමත් වී තිබේ.

කෙසේ වෙතත් ජයග්‍රහණයෙන් අනතුරු ව ඡන්ද විමසීමට ඉදිරිපත් වූ ජාතික ජන බලවේගයේ කණ්ඩායමට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට ජයග්‍රාහී කණ්ඩායම උත්සාහ කිරීමත් සමඟ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබුණු අතර පොලිස් නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ.

Exit mobile version